එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් ඩො. බිලියන 2ක් වටිනා මෙරට පළමු සමාගම බවට පත්වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්ස්පෝලංකා හෝල්ඩිංග් සීඑල්සී සමාගමෙහි (EXPO) වටිනාකම පසුගිය සිකුරාදා දිනයේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක් බවට පත් වූ බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව එතෙක් මෙතෙක් එවැනි ප්‍රාග්ධනීකරණයක් වෙත ළගා වූ පළමු ශ්‍රී ලාංකික සමාගම බවටත් එක්ස්පෝ ලංකා පත්ව තිබේ.

විශේෂයෙන්ම ඉතාමත් කෙටි කලකදී මෙවැනි සාර්ථකත්වයක් අත් කරගැනීමට හැකියාව ලැබීම එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි සුවිශේෂීතාව බව අද දිනයේදී පළ වුණු ඩේලිඑෆ් ටී පුවත්පත සඳහන් කරයි. එහි කර්තෘ නිස්තාර් කාසිම් විසින් ඉදිරිපත් කර ඇති විශ්ලේෂනාත්මක සටහනක් තුළින් මෙම කරුණු පැහැදිලි කර තිබේ.

ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 209ක් දක්වා, බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව රුපියල් 7.50කින් එනම් 3.7%කින් ඉහළ යාම මෙලෙස එම සමාගම පළමු ඩොලර් බිලියන 2ක් වටිනා සමාගම බවට පත් වීමට ඉඩ සලස්වා දී ඇත.

වෙළෙඳ පොළ දත්ත අනුව මෙම කොටස් මිල ඉහළ යාමත් සමගින්ම සමාගමේ වටිනාකම රුපියල් බිලියන 408.58ක් එනම් ඩොලර් බිලියන 2.01න් දක්වා ඉහළ නැග තිබේ. එහිදී මෙම වටිනාකම ගෙවුණු සතිය තුළදී 13.25%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර රුපියල් 209.75 කින් එම වටිනාකම් ඉහළ ගොස් ඇත.

මේ අතර එක්ස්පෝ ලංකා සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි වඩාත් වටිනාම සමාගම බවට පත් වූ පසුගිය අගෝස්තු මාසයේදී එහි කොටසක වටිනාකම රුපියල් 122.50ක් ලෙස සටහන්ව තිබූ අතර, වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 240ක් වී තිබුණි.

කෙසේ වෙතත් 2020 අවසන් වනවිට එම සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 57ක් වූ බවත්, එහිදී සමාගම ලැයිස්තුගත සමාගම් අතර 13 වැනි ස්ථානයේ පසුවූ බවත් පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙයි.

2020 සැප්තැම්බර් මාසයේ නිමාවත් පසුගිය සිකුරාදාත් අතර කාලසීමාවේදී එක්ස්පෝලංකා හෝල්ඩිංග් පීඑල්සී කොටස් වටිනාකම 1.717%කින් ඉහළ ගොස් ඇත. එසේම 2020 ජූනි මාසයේ අවසානයේ සිට පසුගිය සතිය දක්වා කාලය තුළදී එම වටිනාකම් ඉහළ යාම 6,431%කි. විශේෂයෙන්ම පසුගිය කාලසීමාවේදී ලොව පුරා ව්‍යාප්ත වූ වසංගත තත්ත්වයත් ඒ සමගාමීව භාණ්ඩ ප්‍රවාහන සහ සැපයුම් ගාස්තුවල අය කිරීම් ඉහළ යාමත් හේතුවෙන් සමාගම ඉහළ ලාභ ලැබීම මෙලෙස ඒ වෙත ආයෝජක ආකර්ෂණය ඉහළ යාමට හේතු වී ඇත.

මෙලෙස ලංකාවේ පළමුවට ඩොලර් බිලියන 2ක් වටිනා සමාගමක් බවට පත්වීම සම්බන්ධයෙන් පුවත්පත වෙත අදහස් දක්වා ඇති එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ නිර්මාතෘ, කොටස්හිමිකරුවෙකු සහ සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ හනිෆ් යුසුෆ්, සිය සමාගමේ කොටස්හිමිකරුවන්, පාරිභෝගිකයන්, හවුල්කරුවන් සහ සේවකයන් මෙන්ම ශ්‍රී ලංකාව සහ කොළඹ කොටස් වෙළෙඳ පොළඳ සිය සමාගමේ මෙම වර්ධනයේ ප්‍රතිලාභ ලබන්නන් බව පවසා තිබේ.

“අපේ සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමෙන් අනතුරුව බලාපොරොත්තුව වුණේ පළමු සමාගම් 10 අතරට පත්වෙන්න. ඒත් අද වෙන කොට ලෝකය විසින් අපිව අපි නොසිතූ තැනකට අපිව රැගෙන ගිහින් තිබෙනවා.” යනුවෙන් කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ.

මෙම ආසන්නතම කාර්යසාධනයත් සමගින්ම ඉදිරි පෙරදැක්ම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති හනීෆ් මහතා, සිය සමාගමේ වර්තමාන කොටසක වටිනාකම සහ මෙරට ප්‍රධාන පෙළේ කොටස්තැරැව්කාර සමාගම් කිහිපයක් මගින් පුරෝකතනය කර ඇති වටිනාකම් සාධාරණ බව පවසා තිබේ.

අද වනවිට එකත්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ 75.6%ක කොටස් ප්‍රතිශතයක් හිමිව ඇත්තේ ජපානයේ S.G. Holding Global Ltd සමාගමටයි. හනිෆ් යුසුෆ් වෙත 7.5%ක් හිමිව තිබේ. එසේම 2019/20 මූල්‍ය වර්ෂයේ සිට 2021ජුනි මාසය දක්වා කාලය තුළදී සමාගමේ කොටස් හිමිකරුවන් සංඛ්‍යාව 4,500 සිට 13,719ක් දක්වා ඉහළ නැග තිබේ. ඒඅනුව අදවනවිට මහජනතාව වෙත නිකුත් කර ඇති කොටස් ප්‍රතිශතය 16.6%කි.

වෙළෙඳ පොළ දත්ත අනුව COVID-19 වසංගතයේ බලපෑමත් සමගින් ඇති වූ අවස්ථාවන්ද සමගින් 2020/21 මූල්‍ය වර්ෂය නිමාවට පත්වන විට එක්ස්පෝලංකා සමාගමේ දළ ලාභය රුපියල් බිලියන 14.8ක් බවට පත්ව තිබේ. එය 2019/20 මූල්‍ය වර්යේදී ලැබූ රුපියල් මිලියන 438ක අලාභයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි. එසේම එම සමූහයේ ආදායමද රුපියල් බිලියන 218.7ක් දක්වා 111%කින් වර්ධනය වී ඇත.

මේ අතර 2021/22 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී සමූහය පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 259%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. එහිදී සමූහයේ බදු පසු ලාභය රුපියල් බිලියන 6.3ක් දක්වා ඉහළ නැග ඇති අතර, සමූහයේ ආදායම රුපියල් බිලියන 95.7ක් දක්වා 165%කින් ඉහළ නංවා ගැනීමට සමත්ව තිබේ.

මේ අතර ඉදිරියේදී එක්ස්පෝලංකා සමාගමේ කොටසක වටිනාකම ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින තැරැව්කාර සමාගම් ඉදිරියේදී එහි වටිනාකම් පත්විය හැකි අගයන් පිළිබඳවද පුරෝකතන ඉදිරිපත් කර ඇත.

ඒ අතරින් නේෂන් ලංකා ඉක්වටීස් පෞද්ගලික සමාගමේ අදහසට අනුව එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක අගයය රුපියල් 234.00ත් 246.00ත් අතර අගයකට පත්වීමේ අවස්ථාවක් ඇත. එය දැනට පවතින අගය මෙන් 12%ත් 18%ත් අතර වර්ධනයකි.

එසේම කැපිටල් ට්‍රස්ට් සෙකියුරිටීස් පෞද්ගලික සමාගමත් පසුගිය සතියේදී නිකුත් කළ සිය වාර්තාවක් තුළ එක්ස්පෝලංකා කොටසක වටිනාකම රුපියල් 307.25ක් දක්වා ඉහළ යාමේ අවස්ථාවක් පවතින බවත් සඳහන් කර තිබේ.

Visits: 730