ගෞතම් අදානිත් අලුත් IPL කණ්ඩායමක් මිලදී ගැනීමට සැරසෙයි

ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලිය වෙත අලුතින් හඳුන්වාදීමට යන කණ්ඩායම් දෙකෙන් එකක් මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ අදානි සමූහයේ හිමිකරු ගෞතම් අදානිත් සූදානමින් සිටින බව ඉන්දියානු මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව දැනටමත් මෙම හිමිකාරීත්වය ලබා ගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ටෙන්ඩර් ඉල්ලුම් පත්‍ර ලබා දී ඇති සමාගම් 22 අතර ගෞතම් අදානිගේ අදානි සමූහයත් පවතී. මෙම එක් ටෙන්ඩර් ඉල්ලුම්පත්‍රයක ගාස්තුව ඉන්දියානු රුපියල් ලක්ෂ 10කි.

මෙහිදී  අහමෙදාබාද් සහ ලක්නව් යන නගර සඳහා කණ්ඩායම් දෙකක් අලුතින් ඉදිරිපත් කිරීමේ වැඩි අවස්ථාවක් පවතී. ඒ අතරින් අහමෙදාබාද් කණ්ඩායමේ හිමිකාරීත්වය සිය සමූහය වෙත ලබා ගැනීමට ගෞතම් අදානි දැඩි උනන්දුවකින් පසුවන බව සඳහන් වෙයි.

දැනට ඉදිරිපත්ව සිටින පාර්ශ්වයන් ගෙන් මේ සඳහා හැකියාව ඇති ප්‍රමුඛතම පාර්ශ්වයක් ලෙසද ඉන්දියානු මාධ්‍ය මගින් ගෞතම් අදානි ප්‍රමුඛ අදානි සමූහය හඳුන්වා දී තිබේ.

අදානිට අමතරව ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන RPSG සමූහයේ හිමිකරුවා වන බිලියනපති ව්‍යපාරික සන්ජිව් ගොඑන්කාද කණ්ඩායමක් මිලදී ගැනීමට උනන්දුවකින් පසුවන බව පැවසෙයි.

එසේම බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායම හිමි Avram Glazer පවුලද මෙම නව IPL කණ්ඩායමක් මිලදී ගැනීමේ අදහසකින් සිටින බවත් සඳහන්ව තිබේ.මීට අමතරව Kotak, Torrent Pharma, Aurobindo Pharma සහ Naveen Jindal යන සමාගම් සහ පුද්ගලයන්ද ටෙන්ඩර් ලියවිලි භාරදී ඇත.

මේ අතර ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අලුතින් හඳුන්වා දීමට යන මෙම IPL කණ්ඩායමක හිමිකාරීත්වය අලෙවියේදී එක් කණ්ඩායමක් සඳහා ඉන්දියානු රුපියල් කෝටි 7,000 සිට 10,000ක මුදලක් ඒ සඳහා අය කර ගැනීමට බලාපොරොත්තුව සිටින බවත් මාධ්‍ය පවසයි.

මෙහිදී සමාගම් 22 ක් මගින් දැනටමත් ඉදිරිපත්ව ඇති මෙම ටෙන්ඩර් ලියකියවිලි පිළිබඳව ඉදිරියේදී තාක්ෂණික විශ්ලේෂණයක් සිදු කරමින් වඩාත් සුදුස්සා තෝරාගැනීම අරමුණ වී ඇත. මෙහිදී කණ්ඩායමක් සඳහා අඩුම ලංසු මුදල ඉන්දියානු රුපියල් 2,000ක් ලෙස ප්‍රකාශ කෙරී ඇත. ඒ අනුව අවසානයේදී සමාගම් පහක් හෝ හයක් මේ සඳහා අවසන් ලංසු ඉදිරිපත් කිරීමක් දක්වා පැමිණෙනු ඇතැයි සඳහන් වෙයි.

එසේම ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම කණ්ඩායම් මිලදී ගැනීමේදී සමාගම් තුනකින්/තනි පුද්ගලයන් තුන්දෙනෙකුගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමකටද අවස්ථාව ලබා දීමට තීරණය කර ඇත.

Visits: 214