2021 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා තේ නිෂ්පාදනය 14.2%කින් ඉහළට

මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වසරේ මුල් මාස 09 තුළ මෙරට තේ කොළ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 234.4ක් (234,430,184ක්) බව වාර්තා වෙයි. එය පසුගිය වසරේ එම කාලසීමාවේදී මෙරට තේ නිෂ්පාදනය වූ කිලෝග්‍රෑම් මිලියන 201.1ක් (201,130,903ක්) විය. ඒ අනුව තේ නිෂ්පාදනය වාර්ෂිකව මිලියන 33.2කින් එනම් 14%කින් ඉහළ යාමකි.

Forbes & Walker තේ තැරැව්කාර සමාගම මගින් නිකුත් කරන මාසික සමීක්ෂණ දත්ත තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.

එහි සඳහන් ආකාරයට මෙම මෙම මාස නවයක කාලය තුළදී වැඩිම තේ නිෂ්පාදනයක් සිදුව ඇත්තේ පහත රට තේ අංශයෙනි. එය කිලෝග්‍රෑම් මිලියන 142.1 කි. එසේම උඩරට තේ කිලෝග්‍රෑම් මිලියන 50.5ක් සහ මැද රට තේ කිලෝග්‍රෑම් මිලියන 39.6ක් ලෙසද වාර්තා වෙයි. එසේම මෙම කාලසීමාවේදී ග්‍රීන් ටී නිෂ්පාදන කිලෝග්‍රෑම් මිලියන 1.9 කි.

මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 22.5ක් ලෙස සටහන්ව ඇත. එහිදී උඩරට තේ නිෂ්පාදනය කිලොග්‍රෑම් මිලියන 3.98ක්, මැදරට තේ කිලොග්‍රෑම් මිලියන 3.56ක් සහ පහතරට තේ කිලෝග්‍රෑම් මිලියන 14.78ක් ලෙස මෙම නිෂ්පාදනය සිදුව ඇත. එසේම ග්‍රීන් ටී නිෂ්පාදනය 240,592 කි.

කෙසේ වෙතත් 2019 වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා මාස නවයක කාලය තුළදී මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 232.72ක් ලෙස සටහන්ව ඇත.

එසේම 2015 වසෙර්දී එම කාලසීමාවේදී මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 252.69ක් ලෙස සටහන්ව තිබේ. එසේම ඊට පෙර වසර කිහිපයේදීද ඒ හා සමාන තේ නිෂ්පාදනයක් සිදු කිරිමට මෙරට සමත් විය. මෙම මට්ටමට ආපසු ළගාවීම අසීරු වනු ඇතැයි Forbes & Walker සමාගම මීට පෙර සඳහන් කර තිබුණි.

ඒ අනුව පසුගිය වසරේදී එම කාලසීමාව සඳහා මෙම තේ නිෂ්පාදනය පහළ වැටීම කොරෝනා වසංගතයේ බලපෑම නිසා සිදුවූවක් බව පැවසෙයි. එසේම මේ වසරේදීද වසංගතය අතරතුරදීම වැඩි කාලසීමාවක් තේ නිෂ්පාදනයට යොමුවීමේ හැකියාව ලැබීම නිෂ්පාදනය ඉහළ දැමීමට අවස්ථාව සලසා දී තිබේ.

කෙසේ වෙතත් තේ නිෂ්පාදනය සඳහා යොදාගන්නා පොහොර පිළිබඳ ගැටලුව එහි ඉදිරි නිෂ්පාදන ධාරිතාව වෙත බලපානු ඇතැයි සඳහන් වෙයි.

2020 වසරේදී සමස්ත තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 278.48ක් වූ අතර, 2019 වසරේදී සමස්ත තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 300.13ක් විය.

Visits: 225