හේලීස් සමූහය ජෛව විවිධත්ව සංරක්ෂණ ප්‍රයත්නයට මූලිකත්වය ලබා දීමට ‘‘කිරුළු” ව්‍යාපෘතිය දියත් කරයි

ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන හේලීස් පීඑල්සී ඉහළ සංරක්ෂණ වටිනාකමින් යුත් ප‍්‍රදේශවල (HCVAs) ස්වාභාවික පරිසර පද්ධති ප‍්‍රතිස්ථාපනය කිරීම සහ ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ක‍්‍රියාත්මක කළ සමූහයේ ප‍්‍රධාන ජෛව විවිධත්ව සංරක්ෂණ වැඩසටහන ‘‘කිරුළු’’ පළමු අදියර සාර්ථකව අවසන් කළ බව නිවේදනය කර සිටී.

හේලීස් සමූහයේ ඵෙතිහාසික ජෛව විවිධත්ව ආරක්ෂක න්‍යාය පත‍්‍රයේ ගාමක බලවේගය වන හේලීස් වැවිලි සමාගමට අයත් තලවකැලේ වතු සමාගම (TTEL) විසින් මෙහෙයවනු ලබන ව්‍යාපෘතියේ පළමු අදියර මඟින් මධ්‍යම කදුකරයේ පිහිටි පරිසර පද්ධති ප‍්‍රතිසංස්කරණය සහ ජෛව විද්‍යාත්මක ස්ථාන නඩත්තු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

පැළ 1000 ක් රෝපණය කිරීමේ වැඩසටහනෙන් පසුව, හඳුනාගත් ස්ථාන වල පරිසර පද්ධති සහ පාරිසරික හැසිරීම් විශ්ලේෂණය කිරීමට සහ ශාක ජෛව විවිධත්වයෙන් වැදගත්කමක් ඇති ස්ථාන වැඩි දියුණු කිරීම හා ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇත.

පසුව එම ස්ථාන වල පරිසර පද්ධතින්හි වර්ධනය සහ ජෛව විවිධත්වය වැඩි දියුණු වීම තක්සේරු කිරීමට සහ අධීක්ෂණය කිරීමට කටයුතු සැලසුම් කර ඇත. TTEL විසින් පැල තවාන් සහ ක්ෂේත‍්‍ර ව්‍යාපෘති නඩත්තු කිරීම සහ පැවැත්ම සහතික කිරීම සඳහා GPS සිතියම්කරණය වැනි තාක්ෂණික විදි යොදාගන්නා අතර එමඟින් ව්‍යාපෘතියේ අඛණ්ඩ ප‍්‍රගතිය නිරීක්ෂණය කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන හේලීස් සමූහ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී සහ තිරසාරභාවය පිළිබඳ සමූහ ප‍්‍රධානී චෝලිය ද සිල්වා මහතා ‘’2021 අගෝස්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ 2021 වාර්තාව මඟින් ලොව පුරා සිදු වූ සැලකිය යුතු පාරිසරික ගැටළු ඉස්මතු කරමින් ‘code red for humanity’ ගැන අනතුරු ඇඟවුවා. ඉන් මසකට පමණ පසුව ලෝක ආර්ථික සමුළුව ද හරිතාගාර වායු විමෝචනය අවම කිරීම, ජෛව විවිධත්වය සුරැකීම සහ පුනර්ජනනීය බලශක්තිය සහ දේශගුණික මූල්‍යකරණයන් සඳහා ආයෝඡනය කිරීම පිළිබඳව සැලකිලිමත්ව වැඩ කළ යුතු බව අවධාරණය කළා.”

”ශ‍්‍රී ලංකාව යනු ජෛව විවිධත්වයෙන් පොහොසත්, පාරිසරික පද්ධතියකින් සමන්විත රටක්. තර්ජනයට ලක් වූ දේශීය ශාක සහ සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා වූ ප‍්‍රයත්නයන් යතාර්ථවත් කර ගැනීමට ව්‍යාපාරික ප‍්‍රජාවගේ සහයෝගීතාවයන් එකට එකතු වී වැඩ කිරීම අත්‍යවශ්‍යයි. එමෙන්ම විවිධ ශක්‍යතා සහිත තිරසාර නියෝජිතයින් කණ්ඩායමක් වශයෙන් එකට ඒකාබද්ධව කැපවී මෙම තර්ජනයට ලක් වූ ශාක සතුන් ආරක්ෂා කර ගැනීම මෙම ව්‍යාපෘතියේ ඒකායන අභිප‍්‍රායයි. අපේ අනාගත පරපුර වෙනුවෙන් හරිත පරිසරයක් නිර්මාණය කිරීමට සහ ගෝලීය ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සහයෝගය දැක්වීම උදෙසා එකට එකතු වී වැඩ කිරීම අත්‍යාවශ්‍යම කාලයයි.”

ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස ජෛව විවිධත්ව සංරක්ෂණ කටයුතු, යාබද වැසි වනාන්තර රක්ෂිත සහ දිය ඇලි පරිසර පද්ධති ඇතුළු වැදගත් ප‍්‍රදේශවල ආශි‍්‍රතව සිදු කිරීමට නියමිත අතර හේලීස් සමූහ ව්‍යාපාරය විසින් මෙම සංරක්ෂණ ප‍්‍රයත්නයන් වඩාත් වේගවත් කිරීමට පියවර ගනු ඇත.

ව්‍යාපෘතියේ තාක්ෂණික හවුල්කරු වශයෙන්, ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය උපදේශන සේවා ලබා දෙන අතර, ව්‍යාපෘතිය යටතේ ආවරණය වන ප‍්‍රදේශයන්හි වාර්ෂික ජෛව විවිධත්ව තක්සේරු කිරීම සඳහා වයඹ විශ්ව විද්‍යාලයේ සිසුන්ව සම්බන්ධ කර ගනියි.

”අපේ රටේ ජෛව විවිධත්වයෙන් පොහොසත් පරිසර පද්ධති සංරක්ෂණය කිරීමට සහයෝගය දැක්වීම සඳහා අපගේ සහෝදර සමාගම් වලින් සමන්විත හේලීස් සමූහයේ අංශ නවයක් සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. හේලීස් සමූහය විසින් වර්තමානය වන විට සංරක්ෂණ කටයුතු සිදුකරන ප‍්‍රදේශ වලට වඩා පස් ගුණයකින් වැඩි ප‍්‍රදේශ ප‍්‍රමාණයක ජෛව විවිධත්වය වැඩිදියුණු කිරීම සඳහා අපි 2030 ඉලක්ක කරගෙන සිටින අතර මෙම ඉලක්කය යතාර්ථයක් බවට පත් කර ගැනීමට කටයුතු සැලසුම් කරනවා.”

ශ‍්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයේ මෙම ජෛව විවිධත්ව සංරක්ෂණ ප‍්‍රයත්නයන්, 2030 වන විට වන විනාශ වූ ඉඩම් හෙක්ටයාර මිලියන 350 ක් ප‍්‍රතිස්ථාපනය කිරීමේ ජාත්‍යන්තර වැඩපිළිවෙලෙහි  “Bonn Challenge” කොටසක් වන, හෙක්ටයාර 200,000 ක් ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාව විසින් දෙන ලද පොරොන්දුව ඉෂ්ඨ කරගැනීම වෙනුවෙන්  සහයෝගය දැක්වීමකි. 

වර්තමානයේ ජෛව විවිධත්ව සංරක්ෂණය, හේලීස් සමූහයේ පාරිසරික තිරසාරභාවය පිළිබඳ ESG රාමුවේ පාරිසරික තිරසාරභාවයෙහි ප‍්‍රධාන කොටසක් වේ. 2020 දී හේලීස් වැවිලි සමාගම හරිතාගාර වායු (GHG) විමෝචනය අවම කිරීම සඳහා Science Based Target (SBT) වැඩසටහනට නිල වශයෙන් කැප වූ ලොව ප‍්‍රථම වැවිලි සමාගම බවට පත් විය. කෘෂිකාර්මික ඉඩම් ස්වාභාවික වනාන්තර හා සම්බන්ධ කරමින් පරිසර පද්ධති ප‍්‍රතිසංස්කරණය සඳහා ස්වයං-තිරසාර ආකෘතියක් සකස් කිරීම මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධානතම ඉලක්කයයි.

Visits: 125