ASPI ඒකක 10,000ට සමීප වෙමින් නව වාර්තාවක් තබයි

අද (ඔක්තෝබර් 21) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු වඩාත් සාර්ථක මට්ටමකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම LOLC සමූහයේ සමාගම් සහ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් වටිනාකම් ඉහළ යාම ඊට හේතුව වී තිබේ. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,000කට සමීප වෙමින් දිනයේ ගනුදෙනු නිමා විය.

විශේෂයෙන්ම LOLC සමූහය කාම්බෝජයේ PRASAC සමාගම සම්බන්ධ ගනුදෙනුව සම්පූර්ණ කිරීමේ නිවේදනය එම සමාගමේ කොටස් මිලී ගැනීම සඳහා වන ආයෝජක ආකර්ෂණය ඉහළ දැමීමට හේතුව වී තිබේ. මේ අතර එම සමූහයටම අයත් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී පිට පිට දෙවැනි දිනයටත් වැඩිම දායකත්වය ලබා දුන් සමාගම බවට පත් වූ බවත් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 9,709.14ත් ඒකක 9,923.31ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,881.50ක් බවට පත්විය. එය පසුගිය සඳුදා (ඔක්තෝබර් 18) දිනයට සාපේක්ෂව ඒකක 172.36ක් එනම් +1.78%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව බීපීපීඑල් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 5.4%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 82ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 104ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+100.18), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+38.66), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+18.64), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+6.45), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+5.07), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-3.7), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (-3.68), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (-3.66), හේලීස් පීඑල්සී HAYL (-2.02), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-1.69) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,572.70ක අගයක් ගත් අතර, එය පසුගිය සඳුදා (ඔක්තෝබර් 18) ‍ට සාපේක්ෂව ඒකක 19.25ක එනම් +0.54%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.26ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සඳුදා (ඔක්තෝබර් 18) වාර්තා කළ රුපියල් බිලියන 2.75 ට  සාපේක්ෂව 55% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.4ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 48.73%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 84.38ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 43.32ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 41.06කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 45.43ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 26.4 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 14.39ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,285 ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 30%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ප්‍රවාහන සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 904ක සහ රුපියල් මිලියන 588ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 234