හිටපු ජනපති ට්‍රම්ප් TRUTH Social නමින් නව සමාජ මාධ්‍ය ජාලයක් දියත් කිරීමට යයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමන්ගේම සමාජ මාධ්‍ය ජාලයක් දියත් කිරීමට සූදානමින් සිටින බව පවසයි. මෙම නව සමාජ මාධ්‍ය ජාලය TRUTH Social නමින් නම් කර තිබේ. පසුගියදා පැවැති ජන හමුවකදී ඔහු මේ බව අනාවරණය කර තිබේ.

දැනටමත් මෙම වැඩසටහන නිර්මාණය කර තිබෙන අතර, එහි බීටා සංස්කරණය ලබන මාසයේදී නිකුත් කෙරෙන බව හිටපු ජනපතිවරයා පවසා ඇත. එහිදී හඳුනාගත් කිහිප දෙනෙකු වෙත පමණක් එම සමාජ මාධ්‍ය වෙත පිවිසීමේ අවස්ථාව ලැබෙන බවත් සඳහන් වෙයි.

මෙම සමාජ මාධ්‍ය ජාලය ට්‍රම්ප් මීඩියා ඇන්ඩ් ටෙක්නොලොජි ගෘප් (TMTG) නම් සමාගමක් යටතේ ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

එක්සත් ජනපද ජනපතිවරයා වීමට පෙරාතුව එරට සුප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාර සියල්ලම පාහේ ඔහුගේ Trump නමින් ඉදිරිපත්ව තිබේ. ඒ අනුව මෙම TRUTH Social නමෙහිද ට්‍රම්ප් සිය TRU යන අකුරු එලෙසින්ම පවත්වාගෙන යාමට පියවර ගෙන තිබීමත විශේෂත්වයකි. එසේම එහි සන්නාමය දැක්වෙන්නේද කැපිටල් T අකුරයි.

අද වනවිට හිටපු ජනපතිවරයාගේ ට්විටර් ගිණුම මෙන්ම ෆේස්බුක් ගිණුමද අත්හිටුවීමට Twitter Inc. සමාගම සහ Facebook Inc. යන සමාගම් කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙම තාක්ෂණික සමාගම්වලට එරෙහිව යාමක් ලෙස ට්‍රම්ප්ගේ මෙම හඳුන්වාදීම පෙන්වා දිය හැකි බව විචාරකයන්ගේ අදහස වී තිබේ.

පසුගිය වසරේදී ජනපතිවරණය පරාජයට පත් වීමෙන් අනතුරුව ට්‍රම්ප් තමන්ගේම රූපවාහිනි නාලිකාවක් ඇතුළු මාධ්‍ය ජාලයක් නිර්මාණය කරන බවට පවසා තිබුණි. ඒ අනුව මෙලෙස ට්‍රම්ප් මීඩියා ඇන්ඩ් ටෙක්නොලොජි ගෘප් ලෙස එළිදක්වන්නට නියමිතව ඇත්තේ එය බව පැවසෙයි.

මේ හරහා වීඩියෝ ඔන් ඩිමාන්ඩ් සේවාවක් දියත් කිරීමටත්, ඊට අමතරව තවත් විනෝදාත්මක වැඩසටහන් ඇතුළත් කිරීමටත් සැලසුම වී තිබේ.

ඔහු වටා අදටත් එරට රිපබ්ලිකන් පක්ෂ ආධාරකරුවෝ මිලියන ගණනින් රැස්ව සිටියි. 2024 වසරේදී නැවතත් ජනපතිවරණ සටනට ඉදිරිපත් වන බවටද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

Visits: 133