චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන එරට සූර්ය විදුලි බලාගාරයක් නිරීක්ෂණයට යයි

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කොහොන මහතා, විදුලිය උත්පාදනය හා බෙදා හැරීම සඳහා උපකරණ මාලාවක් නිෂ්පාදනය කරන ෂිජියාෂුආං හි පිහිටි දැවැන්ත කේ.ඊ.ඉලෙක්ට්‍රික් (KE Electric) බලාගාරය වෙත පසුගියදා සංචාරයක නිරත වූ බව බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මෙහිදී තානාපතිවරයාට කේ.ඊ. ඉලෙක්ට්‍රික් ආයතනයේ සභාපති චෙන්සුඕ ෂැං මහතා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කණ්ඩායම එක්ව සත්කාරකත්වය ලබා දුන් අතර, ආයතනය පිළිබඳව විස්තර කෙරෙන චාරිකාවක් සඳහා ද කැඳවාගෙන යන ලදී. සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම හා බෙදා හැරීම සඳහා නිෂ්පාදනය කරන ලද උපකරණ කෙරෙහි මෙහිදී විශේෂ උනන්දුවක් යොමු විය.

විශේෂයෙන්ම ද චයිනා නැෂනල් එනර්ජි ඉන්ජිනියරින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සමාගම (CINEE) ශ්‍රී ලංකාව තුළ මෙගාවොට් 400 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත් වී සිටියි. මේ සඳහා අවශ්‍ය වන උපකරණ සහ දැනුම කේ.ඊ. ඉලෙක්ට්‍රික් ආයතනය (KE Electric) විසින් සපයනු ලැබේ.

කේ.ඊ. ඉලෙක්ට්‍රික් ආයතනය සමඟ සම්බන්ධ වී යෝග්‍ය ස්ථාන පිළිබඳ මූලික අධ්‍යයන කටයුතු මේ වන විටත් සිදු කර ඇති CINEE සමාගම, එහි යෝජනා සකස් කිරීමේ කටයුතුවල නිරතව සිටින බවත් පවසයි.

යෝජිත CNEE ව්‍යාපෘතිය ගොඩනැගීම-හිමිකාරීත්වය-මෙහෙයවීම (BOO) හෝ ගොඩනැගීම-හිමිකාරීත්වය-මෙහෙයවීම සහ පැවරීම (BOOT) යන පදනම යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය ප්‍රභව තුළින් නිෂ්පාදනය කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව ආචාර්ය කොහොන මැතිතුමා පැහැදිලි කළේ ය. මෙම කර්තව්‍යය සඳහා රජය විසින් වෙන් කොට ඇති ස්ථාන පිළිබඳව ද එතුමා සඳහන් කර තිබේ.

මේ සඳහා රජය ආයෝජකයන් සොයන බවත්, කිසිදු ව්‍යාපෘතියකට මුදල් යෙදවීම සඳහා ණය ලබා නොගන්නා බවත් එතුමා අවධාරණය කර ඇත.

ඉන් අනතුරුව, ෂිජියාෂුආං හි පිංෂාන් ප්‍රාන්තයේ බෙයිෂුආං හි පිහිටි සුවිශේෂී සූර්ය ස්ථාපනය සහ හොංජි පී.වී. බලාගාරය හා සූර්ය නිදර්ශක ව්‍යාපෘතිය නැරඹීමට ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරයක් සඳහා කැඳවාගෙන යාම සිදුව ඇත.

නිසරු කඳු බෑවුම් සූර්ය පැනලවලින් ආවරණය කොට තිබීම මෙහි විශේෂත්වයයි. කේ.ඊ. ආයතනය විසින් නිපදවන ලද පාලන උපකරණ, අපවර්තක, සම්ප්‍රේෂණ මාර්ග යනාදිය මෙහිදී දැක ගත හැකි විය. මෙම ව්‍යාපෘතියෙන් උපයන ආදායමෙන් 25% ක් සෘජුවම වෙන් කර ඇත්තේ ග්‍රාමීය කටයුතු ඉහළ නැංවීම සහ දුප්පත්කම තුරන් කිරීම සඳහා ය.

ජපන් ජාතිකයන්ට එරෙහිව සිදු කළ යුද්ධයේ දී විනාශයට පත්වූ අසල පිහිටි ගමක්, මෙම නව ආදායම් මාර්ගය හමුවේ සමෘද්ධිමත් වෙමින් පවතින බව මේ වන විට දැක ගත හැකිව ඇතැයිද පැවසෙයි.

Visits: 141