ඉතිරි 21%ත් විකුණා LOLC සමූහය කාම්බෝජයේ PRASAC සමාගමෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙයි

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයට අයත් LOLC ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට අයත්ව තිබූ කාම්බෝජයේ PRASAC Microfinance හි ඉතිරි 21%ක කොටස් ප්‍රතිශතයත් පසුගිය ඔක්තෝබර් 19 වැනිදා අලෙවි කළ බව එම සමූහය නිවේදනයක් මගින් සඳහන් කර සිටියි.

මෙහිදී එක්සත් ජනපද ඩොලර් මිලියන 225කට මෙම අලෙවිය සිදු කර තිබේ. මෙම එම සමාගමේ කොටස් අලෙවියට අදාළ දෙවැනි ගනුදෙනුව ලෙසින්ද සැලකෙයි. මෙම අලෙවියට අදාළ පළමු ගනුදෙනුව පසුගිය අප්‍රේල් 13 වැනිදා සිදුවිය. එහිදී PRASAC Microfinance හි 49%ක කොටස් ප්‍රතිශතයක් අලෙවි කිරීම සිදු වූ අතර එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 422ක් විය.

මෙම පළමු ගනුදෙනුව සිදු වුණු අවස්ථාවේදී PRASAC Microfinance හි වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 862ක් ලෙස සටහන්ව තිබී ඇති අතර, මෙම දෙවැනි ගනුදෙනුව අවස්ථාවේදී එය ඩොලර් මිලියන 1,073ක් බවට පත්ව තිබේ.

LOLC සමූහයට අයත් පරිපාලිත සමාගමක් වන සිංගප්පූරුවෙහි LOLC ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම මගින් PRASAC Microfinance හි අනෙකුත් කොටස් හිමිකරුවන්ද සමගින් ඇති කරගත් එකඟතාවකට අනුව 2020 ජනවාරි 06 වැනිදා එම සමාගමෙහි ඇති සිය කොටස් අලෙවි කිරීමේ තීරණයකට පිවිසුණි.

ඒ වන විට LOLC සමූහය සතුව තිබූ PRASAC Microfinanceහි කොටස් ප්‍රතිශතය 70%ක් විය. එහිදී මෙම කොටස්හි ගැනුම්කරුවා ලෙස දකුණු කොරියාවේ විශාලතම වාණිජ බැංකුව වන Kookmin Bank සමගින් එකඟතාවකට පිවිසි බවද එම සමූහය සඳහන් කර තිබුණි. ඒ අනුව එම කොටසි ප්‍රතිශතයේ වටිනාකම අදියර දෙකක් යටතේ ගෙවීමට මෙහිදී එකඟතාවට පිවිසීම සිදුවිය. පසුගියදි පියවා ඇත්තේ මෙම දෙවැනි අදියරයි.

“මෙම දෙවැනි ගනුදෙනුව පියවීමත් සමගින්ම LOLC සමූහය PRASAC Microfinance වෙත සිදු කර තිබූ ආයෝජනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමක් සිදුව තිබෙනවා. 2007 වසරේදී සිදු කළ මෙම ආයෝජනය සමූහය මගින් විදේශයකදී සිදුකළ පළමු ආයෝජනයද වෙනවා. 2017 වසර වනවිට සමූහයට සිය කොටස් හිමිකාරීත්වය 70%ක් දක්වා ඉහළ දමා ගැනීමට හැකි වුණා.” යනුවෙන් LOLC සමූහය පවසයි.

1995 වසරේදී පිහිටවුණු PRASAC Microfinance සමාගම කාම්බෝජයේ ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන කෘෂිකාර්මික ක්ෂේතයේ නිරත පිරිස් වෙත අවශ්‍ය ණය පහසුකම් ලබා දීම වෙනුවෙන් පිහිටුවා තිබේ.

“LOLC සමූහය එම සමාගම වෙත මූලික ආයෝජනය සිදු කළ 2007 වසරේ සිට 2021 ජූනි මාසය දක්වා කාලය තුළදී එම සමාගම සිය වත්කම් පදනම එක්සත් ජනපද ඩොලර් මිලියන 37 සිට ඩොලර් මිලියන 3,800ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව ඇත. ඒ අනුව අද වනවිට PRASAC Microfinance සමාගම කාම්බෝජයේ විශාලතම ක්ෂූද්‍ර මූල්‍ය සමාගමක් බවට පත්ව තිබෙනවා. ගෙවුණු මෙම වසර 14 ක කාලය තුළදී PRASAC Microfinance සමාගමේ ණය පොත් වටිනාකම 100 ගුණයකින් වර්ධනය වී ඇති ඇති අතර, එහි ලාභය 90 ගුණයකින් ඉහළ නැංවී තිබේ.” යනුවෙන්ද LOLC සමූහය සඳහන් කරයි.

මේ අතර අද වනවිට LOLC සමූහය කාම්බෝජයේ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ සිව්වැනි විශාලතම සහ ලාභය අතින් දෙවැනි විශාලතම සමාගමෙහි තුළ 97%ක කොටස් හිමිකාරීත්වයක් දරමින් සිටින බවත් පවසයි. එසේම පිලිපීනය, ඉන්දුනීසියාව, මියන්මාරය, පාකිස්තානය, සැම්බියාව, නයිජීරියාව, ටස්මේනියාව, මලාවි සහ ටජිකිස්තානය තුළදී LOLC සමූහය සිය ක්ෂුද්‍ර මූල්‍ය සේවා වේදිකා ව්‍යාප්ත කර ඇතැයිද පවසයි.

Visits: 1633