Facebook ලබන සතියේදී සිය නම වෙනස් කිරීමේ සූදානමකලු?

ලොව සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන ෆේස්බුක් ඉන්කෝපරේෂන් (Facebook Inc) සමාගම ලබන සතියේදී අලුත් නමකින් සිය සමාගම නැවත සන්නාමකරණයකට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

තාක්ෂණික, විද්‍යාත්මක, කලා සහ සංස්කෘතික කරුණු සම්බන්ධයෙන් පුවත් පළ කෙරෙන සුප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන Verge වෙබ් අඩවිය තුළ අද දිනයේදී මේ පිළිබඳව කරුණු සඳහන් කර තිබේ.

ඒ අනුව ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ලබන ඔක්තෝබර් 28 වැනිදා පැවැත්වීමට නියමිත එම සමාගමේ වාර්ෂික  Facebook Connect 2021 සම්මන්ත්‍රණයේදී මෙම නම් වෙනස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට සැලසුම් කරමින් සිටින බවත් වෙබ් අඩවිය මෙහිදී අනාවරණය කර ඇත.

විශේෂයෙන්ම ෆේස්බුක් සමාගමේ ව්‍යාපාරික ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආසන්න කාලසීමාවේදී එක්සත් ජනපදයේ නියාමකයන් සහ නීති සම්පාදකයන් ඉදිරියේ දැඩි ප්‍රශ්න කිරීමකට ලක්වීම නිසා එම සමාගමේ සන්නාමය සම්බන්ධයෙන් මතුව තිබෙන පිළිගැනීමේ අඩුවීම මෙලෙස එය ප්‍රතිසන්නාමකරණයකට ලක් කිරීමේ අදහසකට හේතුව බව සඳහන් වී තිබේ.

අද වනවිට Facebook Inc. සමාගම යටතේ Facebook වැඩසටහනට අමතරව Whatsapp සහ Instagram යන වැඩසටහන් පවත්වාගෙන යාම සිදු වෙයි.

කෙසේ වෙතත් මෙම පුවත සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය සිදු කළ විමසීමකට පිළිතුරු දී ඇති ෆේස්බුක් සමාගම තමන් කිසිවිටෙකත් %කටකතා හෝ අනුමාන කිරීම් පිළිබඳව^ අදහස් පළ නොකරන බව පවසා තිබේ.

මීට පෙර Google Inc. සමාගම මෙවැනි ප්‍රතිසන්නාමකරණයක් සිදු කළ අතර එහිදී Alphabet ලෙස නව සමාගමක් පිහිටුවමින් ගූගල් යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපාර ඒ යටතට පත් කෙරිණි.

Visits: 229