අගෝස්තු මාසයේදී වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 586ක් දක්වා පුළුල් වෙයි

මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,100ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව එය පසුගිය 2020 වසරේ අගෝස්තු මාසයේදී රැස් කරගත් අපනයන ආදායම වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 947ට සාපේක්ෂව 16.2%ක වර්ධනයකි.

එසේම මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් 1,687ක් ලෙස සටහන්ව ඇත. එය 2020 වසරේ අගෝස්තුවේදී මෙරට ආනයන වියදම වූ ඩොලර් මිලියන 1,289ට සාපේක්ෂව 30.8%ක වර්ධනයකි.

ශ්‍රී ලංකා රේගුව මගින් නිකුත් කළ දත්ත අනුව 2021 අගෝස්තු මාසයේදී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිළිබඳ කරුණු අනාවරණය කරයි.

ඒ අනුව මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරට වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 586ක් ලෙස සටහන්ව තිබේ. මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී වාර්තා කළ එක්සත් ජනපද ඩොලර් 342ට සාපේක්ෂව වෙළෙඳ හිඟයේ පුළුල්වීමක් ලෙස වාර්තා වී තිබේ. “මූල්‍ය ලැබීම් ඉහළ යාම හේතුවෙන්20201 අගෝස්තු මාසයේදී දළ නිල සංචිත ඉහළ ගිය අතර, අඛණ්ඩව තුන්වන වරටත් මෙමමාසයේදී ද වෙළෙඳ භාණ්ඩ අපනයනය එක්සත් ජනපද ඩොලර් බිලියන 1ක් ඉක්මවීය. කෙසේ වෙතත් භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ යාමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව වෙළෙඳ හිඟය පුළුල් විය.” මහ බැංකුව පවසයි.

මේ අතර 2021 වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 7,903ක් ලෙස සටහන්ව ඇත. මෙය 2020 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා වාර්තා කළ ඩොලර් මිලියන 6,445ට සාපේක්ෂව 22.6%ක වර්ධනයකි.

එසේම එම කාලසීමාව තුළදී මෙරට ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 13,411කි. මෙය 2020 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා වාර්තා කළ ඩොලර් මිලියන 10,257ට සාපේක්ෂව 30.7% වර්ධනයකි.

ඒ අනුව මෙම කාලසීමාව තුළදී මෙරට වෙළෙඳ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,509ක් ලෙස සටහන්ව ඇති අතර, 2020 වසරේ එම කාලසීමාවේදී එම වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 3,812ක් ලෙස පැවතුණි.

Visits: 197