WEBXPAY සහ ඕස්ට්‍රේලියා රජය එක්වී ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මෙරට SME ව්‍යාපාර සවිබල ගන්වයි

ප්‍රමුඛ පෙළේ මාර්ගගත ගෙවීම් සේවාවක් වන WEBXPAY, ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුව (Department of Foreign Affairs and Trade – DFAT) සමග විශේෂ හවුල්කරීත්වයකට එළඹී ඇතැයි පවසයි. ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට නවීනතම ඩිජිටල් තාක්ෂණය සමීප කරවීම මෙහි මූලික අරමුණ වී ඇත.

මෙම හවුල්කාරීත්වය, කලාපයේ ආර්ථිකය නගාසිටුවීම අරමුණු කරගත් වැඩසටහන් මාලාවක එක් අදියරකි. WEBXPAY හඳුන්වා දී ඇති මාර්ගගත (Online) ගෙවීම් ක්‍රමවේදය සහ අනෙකුත් විද්‍යුත් වාණිජ සේවාවන් ඔස්සේ, ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයෙන් ප්‍රයෝජන ගැනීමට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අවස්ථාව ලබාදීමට මේ යටතේ උත්සාහ දරනු ලබන අතර, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමාජ අන්තර්කරණය සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමුවනු ඇත.

“කාන්තාවන්ගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපාර ඇතුළුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අත්වැලක් වීම සඳහා WEBXPAY සමග අත්වැල් බැඳගැනීමට හැකිවීමට අප සතුටක්. මේ ඔස්සේ එම ව්‍යාපාර වලට දේශීය හා විදේශීය පාරිභෝගිකයන්, කාඩ්පත් සහ ඩිජිටල් උපාංග භාවිතයෙන් සිදුකරන ගෙවීම් භාරගැනීමට අවස්ථාව ලැබෙනවා.

“මෙම හවුල්කාරිත්වය මගින් මෙම ව්‍යවසායකයන්ගේ මූල්‍ය හා ඩිජිටල් සාක්ෂරතාව වර්ධනය වීමට අමතරව, COVID-19 හේතුවෙන් ඇතිවන බාධා මගහරිමින් අන්තර්ජාලය ඔස්සේ තම ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ඔවුන්ට හැකිවේවි. එමෙන්ම මෙමගින් ඔවුන්ට අනාගත ඩිජිටල් ආර්ථිකය තුළ වඩාත් තරගකාරී ලෙස කටයුතු කිරීමට හැකි වනවා. මෙම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිසි ලෙස ලියාපදිංචි කර, අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර කටයුතු සහ ප්‍රවර්ධන කටයුතු සිදුකිරීමට යොමුකරවීම ඔස්සේ, ඔවුන්ට අනාගත අභියෝග වලට මුහුණ දෙමින් දියුණුව කරා යාමට අවශ්‍ය ශක්තිය ලබාදීමට අපට පුළුවන්.” ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා නියෝජ්‍ය මහ කොමසාරිස් අමැන්ඩා ජුවෙල් මහත්මිය පැවසුවා ය.

මේ ආකාරයට කුඩා ව්‍යාපාර වලට අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර කටයුතු සිදුකිරීමට සහ ඩිජිටල් ක්‍රමයට ගෙවීම් භාරගැනීමට අවස්ථාව සලසා දීම මගින්, මේ වනවිට COVID-19 හේතුවෙන් දැඩි බලපෑමකට ලක්වී ඇති ග්‍රාමීය ආර්ථිකයන් නගාසිටුවීමට හැකිවනු ඇතැයි WEBXPAY සහ ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. මේ ඔස්සේ තම මූල්‍ය හා ඩිජිටල් සාක්ෂරතාව වර්ධනය කරගන්නා අතරම මෙම ව්‍යවසායකයන්ට අඛණ්ඩව තම පාරිභෝගිකයන් සමග ගනුදෙනු කිරීමට සහ නව පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමට මෙන්ම, ඇතැම්විට තම නිෂ්පාදන අපනයනය කිරීමට පවා අවස්ථාව ලැබෙනු ඇත.

මෙම වැඩසටහන පුරාම WEBXPAY මගින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමටත්, අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමටත්, ප්‍රවර්ධන වැඩසටහන් සැලසුම් කිරීමටත් සහයෝගය ලබාදෙනු ඇත. මෙහිදී එම ව්‍යවසායකයන්ට WEBXPAY තුළ තම මාර්ගගත විකුණුම් වල ප්‍රගතිය පරීක්ෂා කිරීමටත්, ගෙවීම් සබැඳි නිර්මාණය කිරීමටත්, පාරිභෝගිකයන් පිළිබඳ දත්ත ගබඩාවක් පවත්වා ගැනීමටත් අවස්ථාව හිමි වේ.

“ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය යනු ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුගේ ජීවිත වලට සමීප ක්ෂේත්‍රයක්. අපගේ ආර්ථිකයේ බිම් මට්ටමේ ජීවනාලිය වන්නේ මෙම ව්‍යාපාරයි. එහෙත් පසුගිය වසරේ සිට මෙම ව්‍යාපාර වලට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවී තිබෙනවා. මේ ආකාරයට සහයෝගයක් අවශ්‍යම මොහොතක එය ලබාදෙමින්, රටේ බිම් මට්ටම මූලික කරගත් තිරසාර ආර්ථික වර්ධනයකට මංපෙත් විවර කිරීමට දායක වීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා රජයටත් එහි ජනතාවටත් අපගේ කෘතඥතාව හිමි විය යුතුයි.” WEBXPAY ප්‍රධන විධායක නිලධාරී සහ නිර්මාතෘ ඔමාර් සහිබ් මහතා පැවසී ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් සහිබ් මහතා පෙන්වා දුන්නේ, COVID-19 හමුවේ සාම්ප්‍රදායික ව්‍යාපාර දැඩි පසුබෑමකට ලක්වුවද විද්‍යුත් වාණිජ සහ මාර්ගගත ව්‍යාපාර වලට නව අවස්ථාවන් රාශියක් උදා වූ බවයි. එහෙත් මෙම අවස්ථාවන් බොහෝ දුරට කොළඹ නගරය, බස්නාහිර පළාත් සහ තවත් නාගරික ප්‍රදේශ කිහිපයකට සීමා වී ඇත. මෙම නව ව්‍යාපාර ක්‍රමවේදයන් පිළිබඳ දැනුම හෝ අත්දැකීම් නොමැතිකම නිසා, අන්තර්ජාල සේවාවන් සඳහා ඇති ඉල්ලුමෙන් නිසි ප්‍රයෝජන ගැනීමට ග්‍රාමීය ව්‍යාපාර වලට නොහැකි වී තිබේ.

රටේ සමස්ත ව්‍යාපාර සංඛ්‍යාවෙන් 90% ක්ම අයත් වන්නේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ කාණ්ඩයට ය. එමෙන්ම රැකියා අවස්ථා වලින් 45% කට සහ, දළ දේශීය නිෂ්පාදිතයෙන් 52% කට එම ව්‍යාපාර දායක වෙයි. කෙසේ නමුත් මෙම ව්‍යාපාර අතරින් බහුතරයක් අවිධිමත් ව්‍යාපාර ලෙස පවතී. එම නිසා මෙම ව්‍යාපාර බොහෝ දුරට දෛනික, මුදල් පදනම් කරගත් විකිණුම් මත රඳා පවතින අතර, එම ව්‍යවසායකයන්ට සැලසුම්කරණය හෝ කළමනාකරණය සම්බන්ධ නිසි දැනුමක් නොමැත. මේ හේතුව නිසා COVID-19 හේතුවෙන් මෙම ව්‍යාපාර වලට විශාල බලපෑමක් එල්ල විය.

මෙම ව්‍යාපෘතිය පුරාම, මෙම වැඩසටහන් වල ප්‍රතිඵල හඳුනා ගැනීමට පර්යේෂණ හා නිරීක්ෂණ කටයුතු සිදුකිරීමට WEBXPAY පියවර ගනු ඇත. ග්‍රාමීය ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ උත්සාහයන්ගේ ප්‍රතිඵල සම්බන්ධයෙන් මෙන්ම සාර්ව ආර්ථික මට්ටමින් ඇතිවන ප්‍රතිලාභ සම්බන්ධයෙන්ද එහිදී විශේෂ අවධානයක් යොමුකෙරේ. නව රැකියා අවස්ථාවන් නිර්මාණය කිරීමට සහ විරැකියාව මුලිනුපුටා දැමීමට දායක වන අතරම, මූල්‍ය වශයෙන් ස්වාධීන ව්‍යවසායිකාවන්ට අත්වැලක් වීමට වැඩසටහන සමත් වන ආකාරයද මෙහිදී පරීක්ෂාවට ලක්වනු ඇත. එමෙන්ම මෙය ඩිජිටල් තාක්ෂණය මූලික කරගත් ව්‍යාපෘතියක් වන බැවින්, කාබන් විමෝචනය අඩු කිරීමටත්, බිම් මට්ටම තුළ පුළුල් වූ ආර්ථික වර්ධන ප්‍රවණතාවක් නිර්මාණය කිරීමටත් එයට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Visits: 99