සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් මූලික කොටස් නිකුතුව නොවැම්බර් 23දා

මෙරට බැංකු නොවන මූල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම සිය කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම සඳහා වන මූලික කොටස් නිකුතුව ලබන නොවැම්බර් 23 වැනිදා ආරම්භ කරන බව පවසයි.

කොළඹ කොටස් හුවමාරුව මගින් සියලුම තැරැව්කාර නියෝජිතයන් ඇතුළු ගනුදෙනු සාමාජික සමාගම් වෙත ලිපියක් හරහා මේ පිළිබඳව දැනුම් දී තිබේ.

මෙහිදී සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන පුවරුවෙහි හෝ දිරිසවි පුවරුවෙහි ලැයිස්තුගත කෙරෙණු ඇතැයි සඳහන් වෙයි.

සමාගම සඳහන් කරන ආකරයට මෙහිදී මූලික නිකුතුවක් ලෙස නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 22.7ක් (22,727,273ක්)  නිකුත් කිරීමට සැලසුම් කර ඇත. එහිදී එක් කොටසක් රුපියල් 22.00ක් බැගින් මිල කෙරී තිබේ.

මෙම නිකුතුව සඳහා හිමිවන අධි ඉල්ලුමත් සමගින්ම තවත් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 22,723,273ක් නිකුත් කරන බවත් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම පවසයි. එහිදීද කොටසක අගය රුපියල් 22.00ක් ලෙස සඳහන් කෙරී ඇත.

ඒ අනුව මෙම සමස්ත මූලික කොටස් නිකුතුවේදී සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 45.5ක් (45,454,546ක්) මිලදී ගැනීම සඳහා ඉදිරිපත් විය හැකි බව සමාගම පවසයි.

මෙම නිකුතුවෙහි මූල්‍ය උපදේශකයා සහ කළමනාකරුවා ලෙස NDB Investment Bank Limited සමාගම ක්‍රියා කරයි.

එසේම මෙම මූලික කොටස් නිකුතුවට අදාළව සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමෙහි සංස්ථා ප්‍රකාශය ලබන ඔක්තෝබර් 28 වැනිදා එළිදක්වන බවත් සමාගම සඳහන් කර තිබේ.

Visits: 379