කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ නවරත්න සිය රාජකාරි අරඹයි

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අභිනවයෙන් පත්වූ හර්ෂ කුමාර නවරත්න මහතා, 2021 ඔක්තෝබර් 15 වැනි දින ඔටාවා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී සිය රාජකාරි අරඹා තිබේ. ඒ මහතා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණි අවස්ථාවේ දී එම කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විසින් පිළිගැනීම සිදු කර තිබේ.

රාජකාරි ඇරඹීමෙන්  පසුව මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇමතූ නම් කළ මහ කොමසාරිස් නවරත්න මැතිතුමා, කැනඩාව තුළ  සිය ප්‍රමුඛතා සහ දේශපාලන, ආර්ථික හා පුද්ගලාන්තර සබඳතා වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කර ඇත.  ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සංහිඳියා ප්‍රයත්න වැඩි දියුණු කිරීමේ වැදගත්කම සහ ශ්‍රී ලාංකික උරුමයෙහි කොටස්කරුවන් වන සියලු ප්‍රජාවන් සමඟ කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද නව තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

නම් කළ මහ කොමසාරිස් නවරත්න මැතිතුමා සතුව විශිෂ්ට මෙන්ම බහුවිධ අංශවල  වෘත්තීය සුදුසුකම් පවතින අතර, එතුමා සේවා ලංකා පදනමේ නිර්මාතෘ සහ සභාපතිවරයා ලෙසත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා ලෙසත්, තායිලන්තයේ බැංකොක් හි ජාත්‍යන්තර අනුබද්ධිත බෞද්ධයන්ගේ ජාලයේ (INEB) මූලස්ථානයේ සභාපති ලෙසත්, ජපානයේ ටෝකියෝ හි නිවානෝ සාම පදනමේ සාම ත්‍යාග කමිටුවේ විධායක සාමාජිකයකු ලෙසත් චිත්‍රපටි අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කොට ඇති බවත් ඔටාවා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වා ඇති නවරත්න මහතා, උපකාර අපේක්ෂාවෙන් පැමිණෙන ඕනෑම අයෙකුට මහ කොමසාරිස් කාර්යාලයේ දොරටු විවෘතව පවතින බවත්, ජනතාවට සේවය කිරීමේ උත්සාහය තුළ සිය යුතුකම් ඉටු කිරීම සඳහා සක්‍රියව වැඩ කිරීමට සියලු දෙනා කැපවී සිටින බවත් පැවසී ය.

වැඩි වෙළෙඳ සහ ආයෝජන අවස්ථා සඳහා කැනඩාව උනන්දු කරවීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින ශක්‍යතා ඉස්මතු කිරීමේ අවශ්‍යතාවය ද එතුමා පැහැදිලි කළේ ය.

අන්‍යෝන්‍ය වාසි ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව උතුරු ඇමරිකාව තුළ සන්නාමයක් ලෙස ප්‍රවර්ධනය  කිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සතුව නව ප්‍රවේශයක් තිබූ බව ද මහ කොමසාරිස්වරයා සඳහන් කළේ ය. බටහිර රාජ්‍ය ආසියාව කෙරෙහි අවධානය යොමු කරන හෙයින් දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැගෙනහිර ආසියාවට ප්‍රවේශ වීම සඳහා ශ්‍රී ලංකාව සාමකාමී ප්‍රවේශයක් වන බව ද එතුමා සඳහන් කළේ ය.

නම්කළ මහ කොමසාරිස් නවරත්න මැතිතුමා සිය අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව සහයෝගීතාව සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සඳහා සමාන අදහස්  දරන කණ්ඩායම් හමුවීම සඳහා කැනඩාව පුරා සංචාරය කිරීමට අදහස් කරන බව ද ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායට අනුකූලව මහකොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් කිරිබත් සහ තේ පැන් සංග්‍රහයක් සහිතව  සංවිධානය කරන ලද චාම් උත්සවයක් මධ්‍යයේ මහ කොමසාරිස්වරයා සිය රාජකාරි ඇරඹුවේ ය. නම් කළ මහ කොමසාරිස්වරයාගේ භාර්යාව සහ බාල දියණියද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

Visits: 56