‘සන් ක්වීන් ගාමන්ට්‘ – මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයේ පරම්පරා අතර පැවත එන තවත් එක් සාර්ථක කතාවක්

ශ්‍රී ලංකාවේ ඇඟළුම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ සමාගමක් වන සිග්මා ඉන්ඩස්ටී‍්‍රස් (අද දවසේ ඩොලර් බිලියන ගණනක ඇඟළුම් නිෂ්පාදකයෙකු වන MAS ආයතනය බිහිවීමට පෙර සමාගම) හි නිෂ්පාදන කළමනාකාරිනියක ලෙස ඇය ඉටු කළ පුරෝගාමී කාර්යභාරය, රාණි පෙරේරා සිය ජීවිතයේ ලබා ගත් බොහොමයක් ජයග‍්‍රහණවලින් එකක් පමණි.

1980 ගණන්වල මෙරට ඇඟළුම් ක්ෂේත‍්‍රයේ වර්ධනීය අවධියේදී එම ක්ෂේත‍්‍රයේ සිටි විශාල ඇඟළුම් ආයතන කිහිපයකටම සිය නිෂ්පාදන පුළුල් කරගැනීමට ඇය තම කීර්තිමත් විසිපස් වසරක වෘත්තීය ජීවිතය තුළ සහයෝගය ලබා දුන් අතර පසුව ව්‍යවසායකයෙකු ලෙස ඉදිරියට යාමට රාණි පෙරේරා තීරණය කළාය.

1996 දී කුලී පදනම යටතේ මිලදී ගත් ස්ථානයක සේවකයින් 15 දෙනෙකුගෙන් සහ මහන මැෂින් කිහිපයක් සමඟින් ඇය ආරම්භ කළ සන් ක්වීන් ගාමන්ට් අද වන විට සේවකයින් 850 දෙනෙකුගෙන් සමන්විත සාර්ථක ඇඟළුම් ව්‍යාපාරයක් වන අතර එහි අනාගතය රුමේෂ් හා රුෂාන් පෙරේරා යන රාණිගේ පුතුන් දෙදෙනා හට භාර වී ඇත.

‘‘පළමු උප-කොන්ත‍්‍රාත්තුවේ සිට, වසර ගණනාවක් තිස්සේ අප ඍජුවම ගැණුම්කරුවන්ගෙන් ලබා ගන්නා ඇණවුම් ප‍්‍රමාණය ක‍්‍රමයෙන් වැඩි කරගැනීම දක්වා අප අවධානය යොමු කළා. වසංගතය ආරම්භයට පෙර අපගේ ව්‍යාපාරය ස්ථාවර දියුණුවක් කරා පැමිණෙමින් තිබූ අතර කොවිඞ්-19 නිසා යම් පසුබෑමකට ලක් වූ නමුත් ව්‍යාපාරය දැන් නැවතත් යථා තත්වයට පත්වෙමින් තිබෙනවා.” යනුවෙන් රුමේෂ් පෙරේරා පවසයි.

රුමේෂ් ගැණුම්කරුවන් සමඟ ගනුදෙනු කටයුතු සිදු කරන අතර ඔහුගේ මව සහ සහෝදරයා වන රුෂාන් නිෂ්පාදන අංශයේ වැඩ කටයුතු කෙරෙහි අවධානය යොමු කරයි. පානදුර (කළුතර දිස්ත‍්‍රික්කයේ) සහ කිරිඳිවැල (ගම්පහ දිස්ත‍්‍රික්කයේ) යන නරගරවල පිහිටි ඇඟළුම් නිෂ්පාදනය කිරීමේ පහසුකම් දෙකක් භාවිතා කරමින් සමාගම ප‍්‍රධාන වශයෙන් යුරෝපීය සහ උතුරු ඇමරිකානු වෙළෙඳපොලට යැවීම සඳහා රාත‍්‍රී ඇඳුම් (රාත‍්‍රී ඇඳුම් සහ ෂෙමීසස් වැනි) නිෂ්පාදනය කරනු ලබයි.

රාත‍්‍රී ඇඳුම්වලට අමතරව, කාන්තා රාත‍්‍රී ඇඳුම් හා යට ඇඳුම් මෙන්ම කැෂුවල්වෙයාර් ද සමාගම නිෂ්පාදනය කරයි.

එක්සත් රාජධානියේ ගැනුම්කරුවන් හා සන් ක්වින් ගාමන්ට් අතර සබඳතාව පුළුල් කිරීම සඳහා වරණීය බදු සහනය (GSP) මගින් මනා පිටුවහලක් ලැබුණු බව රුමේෂ් සඳහන් කරයි. සමාගම සිය පළමු නිමි ඇඳුම් තොගය සති කිහිපයකට පෙර එක්සත් ජනපදයට අපනයනය කළ අතර එක්සත් රාජධානියට සාපේක්ෂව එක්සත් ජනපදයේ වෙළෙඳපොල විශාල බැවින් තවදුරටත් වර්ධනයක් අපේක්ෂා කරයි.

සමාගමේ මෙහෙයුම් පුළුල් වීමත් සමඟ සමහර අවස්ථාවලදී අදාල ගැනුම්කරුවාගේ අනුමැතිය ඇතිව සමාගම අතිරික්ත නිෂ්පාදන ඇණවුම් වෙනත් කුඩා සමාගම්වලට ලබා දෙන බවත් කාලයත් සමඟ බාහිරින් සේවා ලබාගත් සමාගමක සිට බාහිර පාර්ශවයන්ට සේවා ලබා දෙන සේවාදායකයකු දක්වා වර්ධනය වූ බව රුමේෂ් සඳහන් කරයි.

කොවිඞ්-19 වසංගතයෙන් පසු වාතාවරණය යහපත් වුවහොත් ඉදිරි වසර කිහිපය තුළ සමාගමට තමන්ගේම නිෂ්පාදන ධාරිතාවය තවදුරටත් පුළුල් කිරීම ගැන සලකා බැලිය හැකි බව රුමේෂ් පවසයි. කෙසේවෙතත් මේ වන විට සමාගම බාහිර සේවා සපයන්නන් සමඟ වැඩ කිරීමෙන් අතිරික්ත නිෂ්පාදන අවශ්‍යතා සපුරාලීමට සැලසුම් කර ඇති අතර එම උපාය මාර්ගය ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගැනීමට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇත.

සන් ක්වීන් ගාමන්ට් හි අනාගතය පිළිබඳව සැලකීමේදී විශේෂයෙන්ම ගැණුම්කරුවන්ගෙන් ලබා ගන්නා ඍජු ඇණවුම් ප‍්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි කරගැනීමේ අරමුණ පෙරදැරිව සමාගමේ දෙවන පරම්පරාව කටයුතු කරනු ලබයි. නමුත් ඒ සඳහා ඔහුගේ මවගේ අත්දැකීම් හා දායකත්වය අඛණ්ඩව අවශ්‍ය වන බව රුමේෂ් සඳහන් කරයි.

‘‘වසර 45 ක් පුරාවට කර්මාන්තයේ නියැලී සිටිමින් නිෂ්පාදනය පිළිබඳ මනා අවබෝධයක් ඇයට තිබෙනවා වගේම මිනිසුන් සමඟ එක්ව කටයුතු කිරීමට ඇති ඇගේ හැකියාව ඉතා විශිෂ්ටයි. අපගෙන් සේවකයින් ඉවත්ව යාම අඩු බැවින් එය අපට මහත් අස්වැසිල්ලක් වී තිබෙනවා. මෙහිදී රාත‍්‍රී ඇඳුම් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රෙදි ඉතා තුනී නිසා මෙම නිෂ්පාදනවල ගුණාත්මකභාවය එලෙසින්ම පවත්වා ගෙන යාමට සේවක සේවිකාවන්ට හොඳ පළපුරුද්දක් තිබිය යුතුයි.’’ යනුවෙන් ඔහු පවසයි.

සන් ක්වීන් ගාමන්ට් යනු පවුලේ ව්‍යාපාරයක් නිසා ප‍්‍රධාන කළමනාකාරීත්වය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ව පෞද්ගලිකව දැන හඳුනන අතර ඔවුන්ට යම් පෞද්ගලික හෝ වෘත්තීයමය ගැටළුවක් පැනනැගුන හොත් ඊට යම් සහයෝගයක් අවශ්‍ය වූ විට සේවකයින්ට ඔවුන් වෙත පැමිණිය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

Visits: 160