කොමර්ෂල් බැංකුව සහ සොෆ්ට්ලොජික් ලයිෆ් එක්ව ප්‍රේෂණ සබැඳි ජීවිත රක්ෂණ සැලසුමක් හඳුන්වා දෙයි

ශ‍්‍රී ලංකාවේ මූල්‍ය සේවා අංශයේ නව සංධිස්ථානයක් ඇති කරමින් කොමර්ෂල් බැංකුව සහ සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම එක්ව මෙරට පළමු පේ‍්‍රෂණ සබැඳි ජීවිත රක්ෂණාවරණය හඳුන්වා දී ඇතැයි පවසයි. 

මෙම නව ජීවිත රක්ෂණ සැලසුම ‘Softlogic Life Remit Guardian’ නමින් නම්කර තිබෙන අතර කොමර්ෂල් බැංකුවට පේ‍්‍රෂණ මුදල් එවන ගනුදෙනුකරුවන්ට මෙමගින් ජීවිත රක්ෂණාවරණයක් ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

ඉතාමත් කාලීන මෙම රක්ෂණ සැලසුම හඳුන්වාදීම පිළිබඳව සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම නිවේදනය කළේ ‘ComBank RemitPlus’ මගින් කොමර්ෂල් බැංකුවේ පේ‍්‍රෂණ ගිණුමකට පේ‍්‍රෂණ මුදල් එවන අවුරුදු 18 ත් 60 ත් අතර ගනුදෙනුකරුවන්ට මෙම සැලසුම 2021 ඔක්තෝම්බර් 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා විශේෂ දීමනාවක් ලෙස ගාස්තු රහිතව ලබාදෙන බවයි. මෙහිදී, පේ‍්‍රෂණය යවන්නාගේ හදිසි අභාවයකදී ප‍්‍රතිලාභියාගේ පේ‍්‍රෂණ ගිණුමට අවසන් මාසයේදී එවා තිබූ මුදල රක්ෂිත මුදල ලෙස සලකා එම මුදල හිමිකම ලෙස ලබාගැනීමේ අවස්ථාව මේ යටතේ පිරිනමන බව එම සමාගම සඳහන් කරයි. 

මෙම සැලසුම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ පැවසීය. ‘අපගේ පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන්ට අප විසින් පිරිනමන බොහෝ ප‍්‍රතිලාභ වලට මෙයත් සුවිශේෂී ප‍්‍රතිලාභයක් ලෙස එක් වනවා. විදේශ විනිමය මෙරටට ගෙනෙන මොවුන් අපගේ ආර්ථිකයේ ඉතාමත් වැදගත් පාර්ශවකරුවන් පිරිසක්. මේ නිසා, මෙම සැලසුම හඳුන්වාදීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමග ඒකාබද්ධ වීමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙනවා. පිටරට සිටින ශ‍්‍රමිකයන් කෙරෙහි අපගේ තිබෙන කැපවීම මෙයින් පිළිඹිබු වන අතර මොවුන් මෙරට ආර්ථිකය වෙනුවෙන් සිදුකරන දායකත්වයට උපහාරයක් ලෙස මෙම සැලසුම ඉදිරිපත් කරනවා.’   

මේ පිළිබඳව සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහ්මඞ් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මෙරටට පේ‍්‍රෂණ එවන්නන් වෙනුවෙන් මෙම කැපී පෙනෙන ජීවිත රක්ෂණ සැලසුම ඉදිරිපත් කිරීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. Remit Guardian සැලසුමේ තිබෙන සරල බව, විනිවිද භාවය සහ දැරිය හැකිබව නිසා එය නව්‍ය රක්ෂණ සැලසුමක් ලෙස සඳහන් කළ හැකියි. මෙමගින් ලබාදෙන රක්ෂණාවරණය පේ‍්‍රෂණ එවන්නන් කැමති කාලයක් දක්වා ලබාදිය හැකියි. එයට අදාළ හිමිකම් මෙම සැලසුමේ පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. අවශ්‍යම අවස්ථාවේදී මේ තුළින් මොවුන්ගේ සිතට සහනයක් ලැබීම මෙහිදී වඩාත් වැදගත් වෙනවා. එසේම, මෙරට තමන්ගේ පවුල්වල සාමාජිකයින්ට අඛණ්ඩව පේ‍්‍රෂණ එවන ශ‍්‍රී ලාංකිකයින්ට මේ ආකාරයේ රක්ෂණ සැලසුමක් ලබාදෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි.’

ශ‍්‍රී ලංකාවේ පේ‍්‍රෂණ අංශයේ වඩාත්ම සක‍්‍රීය බැංකුවක් වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ක්ෂේත‍්‍රයේ බොහෝ දේ පළමුවෙන් සිය පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කර තිබේ. මේවා අතරට, දේශීය බැංකුවක් විසින් හඳුන්වාදුන් පළමු පේ‍්‍රෂණ සේවාව ලෙස බැංකුව විසින් ‘RemitPlus’ හඳුන්වා දුන් අතර හඳුන්වාදී තිබෙන ‘RemitPlus’ පේ‍්‍රෂණ ඇප් සේවාව මගින් බැංකුවේ පේ‍්‍රෂණ සේවාවන් ලබාගන්නා ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් අදාළ තොරතුරු සහ සේවා ලබාගත හැකිවේ.

මීට අමතරව, බැංකුව විසින් ශ‍්‍රී ලංකාවේ පළමු පේ‍්‍රෂණ පත හඳුන්වාදී තිබෙන අතර එමගින් ඉතාමත් පහසුවෙන් විදේශයන් හි සිට දේශීය ප‍්‍රතිලාභීන්ට පහසුවෙන් පේ‍්‍රෂණ මුදල් එවීමේ අවස්ථාව ලබාදී තිබේ. එසේම, කොමර්ෂල් බැංකුවට පේ‍්‍රෂණ ගෙන්වා ගන්නා තැනැත්තන්ට නිවාඩු දින බැංකුකරණ මධ්‍යස්ථාන, සුපිරි වෙළෙඳසැල් බැංකු කවුන්ටර්, පේ‍්‍රෂණ සඳහාම වෙන්වූ පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානයක්, පේ‍්‍රෂණ මුදල් බැංකුවට පැමිණ ගෙවීමට සූදානම් වූ විට ඒ බව දන්වා කෙටි පණිවුඩයක් ඇතුළු ප‍්‍රතිලාභ මාලාවක් බැංකුව විසින් ලබාදී ඇත.

Visits: 83