බැංකු සතු තනි කොටස් හිමිකාරීත්වයේ ප්‍රතිශතය ඉහළ දැමීමට මහ බැංකුවේ සූදානමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වාණිජ බැංකු සතුව පවතින තනි කොටස් හිමිකාරීත්වයේ ප්‍රතිශතය ඉහළ දැමීම සඳහා අනුමැතිය ලබා දීමට එම බැංකුවල නියාමකයා වන ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කරගෙන සිටික බව වාර්තා වෙයි.

ඒ අනුව පසුගියදා නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඉදිරිපත් කරන ලද මාස හයක පෙර දැක්ම තුළදීද මෙම අවස්ථාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි සඳහන්ව තිබුණි.

මේ කරුණ සම්බන්ධයෙන් පසුගියදා සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත අදහස් දක්වා ඇති මහ බැංකු අධිපතිවරයා, “පෙරදැක්මේ සඳහන් වූ ආකාරයටම කොටස් හිමිකාරීත්ව පිළිබඳ වන රීතීන් මේ වසරේදී විමර්ෂණයකට ලක් කෙරෙනවා.” යනුවෙන් සඳහන් කර තිබේ.

මේ අතර දැනට පවතින මහ බැංකුවේ රීතින් අනුව ලැයිස්තුගත මෙම වාණිජ බැංකු සතු කොටස් හිමිකාරීත්වයෙන් 10%ක ප්‍රතිශතයක් පමණක් එක් තනි පාර්ශ්වයකට හෝ පාර්ශ්ව කිහිපයකට එක්ව හිමි කරගැනීමේ අවස්ථාව පවතී.

එසේම මහ බැංකුව මගින් ලබා දෙන යම් විශේෂිත අනුමැතියක් හරහා එම ප්‍රතිශතය 15%ක් දක්වා ඉහළ නංවා ගැනීමේ හැකියාවද ඇත. ඒ අනුව මහ බැංකුව මගින් මෙම පෙර දැක්ම මගින්ද ප්‍රකාශ කර ඇති ඉදිරි සැලසුම වන්නේ මෙම ප්‍රතිශතය තවත් 5%කින් ඉහළ නැංවීමයි.

මෙහිදී මහ බැංකුවෙහි නිලධාරීන්ට අනුව දැනට පවතින මෙම 10%ක සීමාව 15%ක් දක්වා ඉහළ යනු ඇති බවත්, විශේෂිත අවසරය මත වන සීමාව 20%ක් දක්වා ඉහළයනු ඇතිබවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් පෙන්වාදෙයි.

මෙම ලැයිස්තුගත බැංකු සමාගම්හි කොටස් හිමිකරුවන් බොහෝ පිරිසක් ආසන්න කාලසීමාවේදී මහ බැංකුව වෙත පැමිණ මෙම එක් පුද්ගලයෙකුට හිමිකරගත හැකි කොටස් ප්‍රමාණය පිළිබඳ රීතිය සම්බන්ධයෙන් ආපසු සලකා බලන ලෙස කළ ඉල්ලීමක ප්‍රතිඵල ලෙස මෙලෙස සංශෝධන ඉදිරිපත් කෙරී ඇතැයි සඳහන් වෙයි.

මේ අතරින් බොහෝකෙටස් හිමිකරුවන් මීටකලකට පෙර තමන්ගේ අමතර කොටස් හිමිකම් අලෙවි කිරිමට තීරණය කර තිබුණද, කොටස් හුවමාරුව හොඳින් ක්‍රියාත්මක නොවීම නිසා ඔවුන් එම තීරණය යම් තරමකට කල් දමා තිබේ.

මෙහිදී පුවත්පත වෙත අදහස් දක්වා ඇති ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු, මෙම කාරණය සම්බන්ධයෙන් පසුගිය වසර හතර තුළදීම කතාබහ කළ බවත්,මෙතෙක් පිළිතුරක් නොලැබී ඇති බවත් සඳහන් කර ඇත.

මේ අතර අද වනවිට මෙම ලැයිස්තුගත බැංකු අතරින් සෙලාන් බැංකුවෙහි ඡන්ද හිමි කොටස් අතරින් 25%ක හිමිකාරීත්වයක් සහ නිෂ්ඡන්ද කොටස් අතරින් 44%ක හිමිකාරීත්වයක් ඇත්තේ LOLC සමූහයටයි. එසේම NTB බැංකුවෙහි ඡන්ද හිමි කොටස් අතරින් 30%ක් සහ නිෂ්ඡන්ද කොටස් අතරින් 50%ක් හිමිව ඇත්තේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමටයි.

මීට අමතරව යුනියන් බැංකුවෙහි කොටස් හිමිකමෙන් 70%ක්ම හිමි කරගෙන ඇත්තේ එක්සත් ජනපදයේ පිහිටි ගෝලීය පෞද්ගලික ආයෝජක සමාගමක් වන TPG Investments සමාගමයි. මෙරට තුළ ක්‍රියාත්මක කල්චරල් ෆයිනෑන්ෂියන් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම හරහා ඔවුන් එම කොටස් හිමිකම දරන බවත් එහි වටිකාම එක්සත් ජනපද ඩොලර් මිලියන 117ක් වන බවත් පුවත්පත සඳහන් කරයි.

මේ අතර 2017 වසරේදී මහ බැංකුව ලබා දුන් විශේෂිත අනුමැතියක්ද සමගින් අමානා බැංකුවෙහි සිව්වැනියට විශාලතම කොටස් හිමිකරුවා වූ ඉස්ලැමික් ඩිවලොප්මන්ට් බෑක්ක් වෙත IB Growth Fund (Labuan) LLP හා එක්ව එහි ඡන්දහිමි කොටස් අතරින් 29.99%ක් හිමි කරගැනීමට  අවස්ථාව ලබා දී තිබෙන බවත් පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 1664