“නිපුණතාවයෙන් හෙබි තරුණ තරුණියන්ට දෙස් විදෙස් පිළිගැනීමක් ලබා දෙනවා” – ඇමති නාමල් රාජපක්ෂ

නිපුණතාවයෙන් හෙබි, ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබෙන තරුණ තරුණියන් දේශීය හා විදේශීය පිළිගැනීමකට යොමු කරන වැඩපිළිවෙළක් නිර්මාණය කර තිබෙන බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ  ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍යඅමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජාතික වෘත්තීය සුදුසුකම් සඳහා වන NVQ – RPL සහතික ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් හම්බන්තොට ශ්‍රැන්ගිලා හෝටලයේදී  ඒ මහතා මේ බව පවසා තිබේ.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 2020 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ මනාලියන් හැඩගැන්වීමේ ශිල්පීන් 1300ක් පමණ ඇගයීමට ලක් කර ඇති අතර ඔවුන්ට (NVQ) සහතික පිරිනැමීම සංකේතවත් කරමින් ශිල්පීන් 50 දෙනෙකුට NVQ –RPL සහතික පිරිනැමීම ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගනිමින් ඉඳිවෙමින් පවතින කර්මාන්ත පුරයේ කර්මාන්ත සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් බිහි කිරීමේ අරමුණෙන් නයිටා ආයතනය (NAITA)තරුණ තරුණියන්ට ආධුනිකත්ව පුහුණුව ලබාදීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර ඇත.

ඒ අනුව, මිරිජ්ජවිල ආයෝජන කලාපයේ පිහිටි ONYX ආයතනයේ ඉඳිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධ පුහුණුව ලබාදීමට කටයුතු සම්පාදනය කර තිබෙන අතර හම්බන්තොට යොවුන් සේනාංකයේ පුහුණුව ලැබූ තරුණ තරුණියන් 50 දෙනෙකුට පුහුණු පත්වීම් ලිපි ලබාදීම වෙනුවෙන් හම්බන්තොට මිරිජ්ජවිල කර්මාන්පුරයේ ONYX සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ආයතනයේ පැවති උත්සවඅවස්ථාවටද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගි විය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධානතම අංගයක් ලෙස නිපුණතාවයෙන් හෙබි ශ්‍රම බලකායක් බිහි කිරීමේ වත්මන් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ අනුව දිවයිනපුරා විසිර සිටින විවිධ ක්ෂේත්‍රයන්හි නියුතු වෘත්තිකයන්ගේ සුදුසුකම් පෙර  ඇගයීමට ලක්කර ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 03 වන මට්ටමේ සහතිකයක් ලබාදී ඔවුන් සවිබල ගැන්වීම ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, මහජන උපයෝගීතා කොමිෂන් සභාව, තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව එක්ව සිදුකරනු ලබයි.

හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් ආරම්භ කර ඇති කර්මාන්ත සඳහා අවශ්‍ය නිපුණ  ශිල්පීන් පුහුණු කිරීමේ කාර්යභාරය ජාතික ආධුන්කත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය විසින් සිදු කරනු ලබයි.

ඒ අනුව, විදුලි කාර්මික ශිල්පීන්ගේ NVQ–RPL අවසන් ඇගයීම් පරීක්ෂණ කටයුතු නිරීක්ෂණය, NVQ – RPL සහතික ප්‍රදානය හා  නව ආයෝජන කර්මාන්ත සඳහා අවශ්‍ය නිපුණ ශිල්පීන් බිහි කිරීමේ වැඩසටහන යටතේපුහුණුව ලැබූ හම්බන්තොට දිස්ත්‍රික්ක්යේ තරුණ තරුණියන්ට පුහුණු පත්වීම් ලිපි ලබාදීම යන අවස්ථාවන් සඳහා අමාත්‍යවරයා සහභාගී වී තිබේ.‍

දිවයිනපුරා විසිරි සිටින විදුලි කාර්මික ශිල්පීන්ට NVQ – RPL සහතික පත්‍ර ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ හම්බන්තොට දිස්ත්‍රික් අයදුම්කරුවන් වෙනුවෙන් බෙලිඅත්ත කාර්මික විද්‍යාල පරිශ්‍රයේ නයිටා ආයතනය (NAITA)මගින් ස්ථාපිත කර ඇති ජංගම ඇගයීම් මධ්‍යස්ථානයේ පැවැත් වූ පෙර දැනුම ඇගයීමේ අවසන් පරීක්ෂණ කටයුතු අමාත්‍යවරයාගේ නිරීක්ෂණයටද ලක්ව තිබේ.

හම්බන්තොට ශ්‍රැන්ගිලා හෝටලයේ පැවති සහතික ප්‍රාදානෝත්සවයේ දී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, ‘‘තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය විදියට අපිට තිබෙන විශාලම අභියෝගය වනුයේ මේ රටේ තරුණ පරම්පරාව වෘත්තීය නිපුණත්වයෙන් හෙබි පිරිසක් බවට පත් කිරීමයි. දේශීය හා විදේශීය රැකියා වෙළඳපොළට සරිලන ආකාරයේ දක්ෂ තරුණ තරුණියන් අපේ රටේ නිර්මාණය කළ යුතුයි.  මේ අභියෝගය ජයගන්නනම් තරුණ අමාත්‍යාංශය, නිපුණතා අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඉතාම සමීපව කටයුතු කළ යුතුයි.

ව්‍යවසායකත්වය පිළිබදව අපිවිශාල අවධානයක් යොමු කර තිබෙනවා. ලබන වසරේ අය වැය යෝජනා වලින්, ගම්වලට වෙන් වෙන ප්‍රතිලාභ වලින් අවමය 40% ක් වෙන් වෙන්නේ මේ රටේ ව්‍යවසායකත්වය සංවර්ධනය කරන්න.දරුවෙක් ව්‍යවසායකයෙක් බවට පරිවර්තනය කරන්න නම් ව්‍යවසායකත්ව මානසිකත්වයට අපි ඒ දරුවා රැගෙන යා යුතුයි.

අද ව්‍යවසායකයෙක් හැදුවොත් නොබෝ දිනකින් ඒ ව්‍යවසායකයා ව්‍යාපාරිකයෙක් බවට පත්වෙනවා. ඊළඟ පරම්පරාවේ දී ඒ ව්‍යාපාරිකයා ආයෝජකයෙක් බවට පරිවර්තනයවෙනවා කියන කාරණයඅපි විස්වාස කරනවා. ව්‍යවසායකයා ආයෝජකයෙක් බවට පරිවර්තනය කිරීමේ ගමන තුළ ක්ෂේත්‍රයේ පළපුරුදු අය වශයෙන් ඔබේ දැනුම, පළපුරුද්ද හා ඔබ ලබා තිබෙන අත්දැකීම් ඊළඟ පරම්පරාවට ලබාදීමේවිශාල කාර්‍යභාරයක් ඔබට හිමිව තිබෙනවා.

අපට අවශ්‍ය වනුයේ අද ව්‍යවසායකත්වයෙන් තම ගමන ආරම්භ කරන තරුණයා 2030 වර්ෂය වෙනකොට ආයෝජකයෙක් බවට පත් කරන්නයි. ඔහු දේශීය හෝ විදේශීය සමාගම්වල ආයෝජනය කරන ආයෝජකයෙක් විය යුතුයි.‍” යනුවෙන් පවසා තිබේ.

Visits: 92