සමාගම් 10ක් තුළ සිදු වුණු Off board ගනුදෙනු පිරිවැටුමෙන් 29%කට දායක වෙයි

අද (ඔක්තෝබර් 15) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු වඩාත් සාර්ථක මට්ටමකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් වටිනාකම් ඉහළ යාම හේතු වී තිබේ.

එසේම ACL කේබල්ස් පීඑල්සී, කොටගල ප්ලාන්ටේෂන්ස් සහ රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගම් තුළදී කැපී පෙනෙන ගනුදෙනු කිහිපයක් වාර්තා විය. කෙසේ වෙතත් අඩු ආයෝජක සහභාගිත්වය මෙන්ම විදේශ මුදල් සංචිතවල තත්ත්වය අනුව ආර්ථිකයේ ඇතිවිය හැකි උද්ධමන පීඩනය පිළිබඳව පැවැති කණස්සල්ල නිසා දිනයේ දෙවැනි අර්ධයේදී ගනුදෙනුකරුවන් තුළ ලාභ ඉපැයීම් වැඩි වශයෙන් දැකගත හැකි වූ බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 9,614.88ත් ඒකක 9,686.18ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,623.81ක් බවට පත්විය. එය ඊයේ (ඔක්තෝබර් 14) දිනයට සාපේක්ෂව ඒකක 2.16ක් එනම් +0.02%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව සම්පත් බැංකුව, වැලිබල් වන් පීඑල්සී, කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, රෝයල් සෙරමික්ස් පීඑල්සී, ඒසීඑල් කේබල්ස් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, ටීජේලංකා, ලාෆ්ස් ගෑස් ලංකා පීඑල්සී, ලංකා අයිඕසී පීඑල්සී සහ ඩයලොග් ආසිආටා පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 29%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 80ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 104ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+11), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (+4), වැලිබල් වන් පීඑල්සී VONE (+3.1), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+2.7), ACL කේබල්ස් පීඑල්සී ACL (+2), ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-5.9), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-5.7), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.2), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (-2.0), හැටන් නැෂනල් බැංකුව පීඑල්සී HNB (-1.2) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,547.61ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 14) ‍ට සාපේක්ෂව ඒකක 0.49ක එනම් -0.01%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.48ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක්තෝබර් 14) වාර්තා කළ රුපියල් බිලියන 2.68 ට  සාපේක්ෂව 31% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.29ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 44.85%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 38.39ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 37.24ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම් හි වටිනාකම රුපියල් මිලියන 1.15කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 45.27ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය වැලිබල් වන් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 20.28 කි. එසේම බලංගොඩ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 21.95ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,534ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 44%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ සමාගම් සහ බැංකු අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 558ක සහ රුපියල් මිලියන 355ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 563