අපනයන විවිධාංගිකරණය කරමින් නව අපනයන කලාප 14 ක් මෙම වසර දෙක තුළදී

නව අපනයන ආර්ථිකයකට රට යොමු කරමින් 2021 හා 2022 දෙවසරක කාලය තුල අපනයන කලාප 14 ක් පිහිටුවමින් මෙරට අපනයන කලාප ප්‍රමාණය දෙගුණ කිරීමට පියවර ගන්නා බව ගුවන්සේවා හා අපනයන  කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ සදහා අවශ්‍ය මූලික ප්‍රතිපාදන හා අනුමැතීන් මේ වන විටත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබා දී ඇතැයිද එම රාජ්‍ය අමාත්‍ය චානක මහතා සඳහන් කරයි.

මුදල් අමාත්‍යවරයාගේ අපේක්ෂාව වී ඇත්තේ අපනයන අදායම ඉහල නංවමින් මෙරට දී අගය එකතුකල නිෂ්පාදන නිපදවමින් අපනයනය කිරීමත් , ආනයනික භාණ්ඩ හැකිතරම් මෙරට නිපදවීමත්ය.

ඒ අනුව ඔයාමඩු,හම්බන්තොට හා මිල්ලනිය ඖෂධ නිෂ්පාදනය සදහා නව කලාප තුනක් සංවර්ධනය වෙමින් පවති. මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 85% ක් අපනයනය කරයි. මේ සදහා වාර්ෂිකව රුපියල් බිලියන 18 කට වැඩි මුදලක් වැය කරන අතර එම මුදල්ද වාර්ෂිකව ඉහල යයි. නව කලාප තුන පිහිටුවීම තුලින් මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 85% ක් දක්වා සපුරා ගැනීමට අපේක්ෂිතයි. මීට අමතරව ඖෂධ අපනයනය තුලින්ද වාර්ෂිකව ඇමරිකානු ඩොලර්  බිලියනක පමණ ආදායමක් අපේක්ෂා කරයි. 

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ  ඉල්ලීමකට අනුව නව තොරතුරු තාක්ෂණ කලාප ආරම්භ කිරීම වෙනුවෙන් සූරියවැව, හෝමාගම,හේනගම  හා කුණ්ඩසාලේ ප්‍රදේශ  හදුනාගෙන ඇත. මෙරට තරුණ තරුණියන්ට මෙම කේෂ්ත්‍රයේ ඉහල වැටුප් ලබන වෘත්තිමය අවස්ථා ජනිත කරමින් මෙම කලාප ඉදිවේ.

එරවුර් රෙදිපිළි නිෂ්පාදන කලාපය – මෙරට ඇගැළුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය චීනය, ඉන්දියාව, තායිවානය, ඉන්දුනීසියාව වැනි රටවලින් ආනයනය කරයි. මෙම රවල්ද ඇගළුම් නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත බැවින් පවතින ගෝලීය තරගකාරී බව හේතුවෙන් අමුද්‍රව්‍ය නිසි වේලාවට ලබා ගැනීමේ අපහසුතා ද ඇත.ශ්‍රි ලංකාව තුල ඉදිවන ඇගැළුම් කර්මාන්යට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදන ප්‍රථම කර්මාන්ත උද්‍යානය මෙය වේ.

මේ සදහා රජය රුපියල් බිලියන 05 ක් වැය කරයි. පළමු අදියරේ අක්කර 275 ක් පවරා ගනිමින් යටිතල පහසුකම් සංවර්ධනය කරමින් පවතී.සම්පූර්ණ පරිසර හිතකාමී රෙදිපිළි නිෂ්පාදන උද්‍යානයක් ලෙස පවත්වාගෙන යාමට පියවර ගෙන ඇත. මෙහි මහා පරිමාණයේ කර්මාන්ත ශාලා 10 ක් පමණ ඉදි කෙරේ.සෘජු රැකියා 5000 ක් පමන ජනිත වේ.වක්‍ර රැකියා ද විශාල ප්‍රමාණයක් බිහි වනු ඇත.

මෙතෙක් සාම්ප්‍රදායිකව අපනයනය කළ  භාණ්ඩ වෙනුවට අගය එකතු කළ අපනයනය විවිධාංගිකරණය කෙරෙහි බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ අවධානය යොමු වී ඇත. ඒ අනුව මල් හා පත්‍ර අපනයනය වෙනුවෙන් වෙනම කලාප හදුන්වා දීමටත්, ධීවර නිෂ්පාදන අපනයනය සදහා තවත් කලාප ඇතිකිරීමටත්, කෘෂි නිෂ්පාදන අපනයනය කලාපය  සදහා ආරබොක්ක ප්‍රදේශයේ අක්කර 100 ක භූමියක් වෙන් කර ඇතැයි චානක මහතා පවසයි.

රබර් අමුද්‍රව්‍යයක් ලෙස තව දුරටත් අපනයනය නොකිරීම තම රජයේ අපේක්ෂාව බව පවසන  රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා,මෙරට රබර් ගොවියා ශක්තිමත් කරමින් රබර් සදහා ඉහල මිලක් ලබා දෙන රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කලාපයක් මිල්ලනිය ප්‍රදේශයේ ආරම්භ කරන බව පවසයි . මීට අමතරව බිංගිරිය දෙවන අදියරද  ලබන වසරේදී නිම කිරීමට අපේක්ෂිතය.

මෙතෙක් පැවති ආයෝජන කලාප ප්‍රමාණය දෙගුණ කරමින්, නිෂ්පාදන හා අපනයනය ක්‍රියාවලිය නව දිශානතියකට ගමන් කරවීම රජයේ අපේක්ෂාවයි. අගය එකතු කළ නිෂ්පාදන අපනයනය කිරීමත්, මෙරට ආනයනය වියදම පහළ නැංවිමත් රජයේ අපේක්ෂාවයි. මෙම කලාප ඇති කිරීම තුලින්  සියළු අංශයන්හි දිගු කාලීන ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවද රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා වැඩිදුරටත් පවසයි.

Visits: 196