ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්තිය එලෙසින්ම

ශ්‍රී ලංකා මහ බැංකුව සිය දැඩි මුදල් ප්‍රතිපත්තිය එලෙසින්ම පවත්වාගෙන යාමට තීරණය කළ බව පවසයි. ඊයේ පැවැත්වුණු ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණය ගෙන තිබේ.

ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේ 19 වැනිදා මහ බැංකුව මගින් ගනු ලැබූ තීරණයකට අනුව ප්‍රකාශ කෙරුණු 5.0%ක නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ 6.0%ක නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය එලෙසින්ම පවත්වාගෙන යන බව මහ බැංකුව සඳහන් කරයි.

කොරෝනා වසංගතය නිසා ආර්ථිකයට එල්ල වූ බලපෑම හේතුවෙන් ආසන්න මාස කිහිපයේදී මහ බැංකුව අනුගමනය කළ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය වෙනුවට අගෝස්තු මාසයේදී මෙලෙස මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට මහ බැංකුව තීරණය කර තිබුණි.

මෙම කාලසීමාවේදී එම අනුපාතයන් පිළීවෙලින් 4.50%ක් සහ 5.50%ක් ලෙස පැවතුණි. ඒ අනුව අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණයේදී පදනම් ඒකක 50%කින් එම අනුපාතයන් ඉහළ දැමීම සිදු විය.

මෙලෙස මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසින්ම පවත්වාගෙන යාමට හේතු වූයේ රටෙහි සාර්ව ආර්ථික තත්ත්වය සහ දේශීයව සහ ගෝලීයව සිදුවෙතැයි අපේක්ෂා කරන සංවර්ධනයන් බවද මහ බැංකුව සඳහන් කරයි.

එහිදී මුදල් මණ්ඩලය මැදිකාලයක් සඳහා උද්ධමනය ඉලක්කගත මට්ටමේම පවත්වාගෙන යාමට අවශ්‍ය මැදිහත්වීම්ද සමගින් දායකත්වය ලබා දෙන බවත්, ඒ අතරතුරදීම ඉදිරි කාලයේදී රටෙහි ආර්ථිකයට එහි හැකියාවන් වෙත ළගාවීමට සහාය දක්වන බවත් පවසයි.

මෙම තීරණය පිළිබඳ දැනුම් දෙන මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති විවරණය අද පෙරවරු 11.00ට පැවැත්වීමට නියමිතව ඇත.

Visits: 154