ලබන වසරේ සිට සෑම ගමකින්ම නව ව්‍යවසායකයෙකු බිහි කිරීමේ විශේෂ වැඩපිළිවෙලක්

ලබන වසරේ සිට තරුණ තරුණියන්ගේ ව්‍යවසායකත්වය දියුණු කරන්න සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙන බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ හරහා සෑම ගමකම හොද ව්‍යවසායකයෙක් බිහි කිරීම සිදු කරන වබත්, එම ව්‍යවසායකයාගේ නිෂ්පාදන ජාතික හා ජාත්‍යන්තර වෙළද පොළට අන්තර්ජාලය හරහා බෙදා හරින වැඩපිළිවෙල ආරම්භ කරන බවත් ඔහු පවසා සිටියි.

තිරුක්කෝවිල් උදයසූරියම් ක්‍රීඩා සමාජයේ වොලිබෝල් ක්‍රීඩාංගණය විවෘත කිරීමට එක්වෙමින් ඊයේ (13) අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

“ගම්වල අලුතින් ව්‍යාපාරිකයින් බිහි කරන්න, රැකී රක්ෂා අවස්ථා ඇති කරන වැඩසටහන සදහා ඔබගේ සහයෝගය ලබා දෙන්න. අපේ අමාත්‍යාංශයේ බලාපොරොත්තුව එයයි.”

මේ අතර නැගෙනහිර පළාතේ පොතුවිල්, විස්කි පොයින්ට් හි නිවාස අහිමි පිරිස් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සදහා නිවාස සංවර්ධන අධිකාරියෙන් රුපියල් ලක්ෂ දහය බැගින් පිරිනැමීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වී තිබේ.

එහිදී අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, “කොවිඩ් 19 වසංගත තත්ත්වය සමග ඉතාමත් අපහසු කාලසීමාවක් අපි ගත කරන්නේ. එය ක්‍රීඩාවටත්, රැකියාවටත්, ආර්ථිකයටත් බලපා තිබෙනවා. රටක් විදියට තරුණ පිරිස එකතුවී ගම ගොඩනගන වැඩපිළිවෙලට දායකත්වය ලබා දීමෙන් අපිට මේ තත්ත්වයෙන් ඉතා ඉක්මනින් මිදෙන්න පුලුවන්.”

වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඒ මහතා, “ලබන වසරේ සිට තරුණ තරුණියන්ගේ ව්‍යවසායකත්වය දියුණු කරන්න සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න සැළසුම් කර තිබෙනවා. සෑම ගමකම හොද ව්‍යවසායකයෙක් බිහි කරන කටයුත්ත අපි කරනවා. එම ව්‍යවසායකයාගේ නිෂ්පාදන ජාතික හා ජාත්‍යන්තර වෙළද පොළට අන්තර්ජාලය හරහා බෙදා හරින වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා. ගම්වල අලුතින් ව්‍යාපාරිකයින් බිහි කරන්න, රැකී රක්ෂා අවස්ථා ඇති කරන වැඩසටහන සදහා ඔබගේ සහයෝගය ලබා දෙන්න. අපේ අමාත්‍යාංශයේ බලාපොරොත්තුව එයයි.” යනුවෙන් පවසා ඇත.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සදාසිවම් විලෙයාන්ද්‍රන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ මහතා ඇතුලු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් පිරිසක් සහභාගි වී තිබේ.

Visits: 55