මහබැංකු මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයත් සමග බැංකු වෙතින් දෛනික පිරිවැටුමට වැඩිම දායකත්වයක්

අද (ඔක්තෝබර් 14) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු වඩාත් සාර්ථක මට්ටමකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරය එලෙසින්ම පවත්වාගෙන යාමට තීරණය කිරීම සහ බලපොරොත්තු වන විදේශ මුදල් ගලාඒම් පිළිබඳ විශ්වාසය යනාදියද ආයෝජක විශ්වාසය ඉහළ නැංවීමට සමත්වී තිබේ.

ඒ හේතුවෙන් ගෙවුණු පසුගිය දින කිහිපයේදී වෙළෙඳ පොළ තුළ සිදු වූ අහිමිවීම් යම් තරමකින් හෝ අකා මකා දැමීමට හේතුවක් වූ බවද කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි. එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එල්ඕඑල්සී සමූහයේ සමාගම් දර්ශක අගයන්හි ඉදිරියෙන්ම පසුවිය.

මේ අතර අද දිනයේදී වැවිලි අංශයේ සමාගම්හි කොටස් වටිනාකම් යම් ප්‍රමාණයකින් ඉහළ ගිය බවද කොටස් තැරැව්කාර සමාගම් පවසයි. කෙසේ වෙතත් අද දිනයේදීද පිරිවැටුම මෙන්ම ආයෝජක සහභාගිත්වයද පහළ මට්ටමේම පැවැති බවත් එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 9,497.49ත් ඒකක 9,632.92ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,621.65ක් බවට පත්විය. එය ඊයේ (ඔක්තෝබර් 13) දිනයට සාපේක්ෂව ඒකක 124.16ක් එනම් +1.31%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව සම්පත් බැංකුව, එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී, ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, කලම්බු ෆෝර්ට් ඇන්ඩ් ලෑන්ඩ් බිල්ඩිංග් පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනුවක් පිරිවැටුමෙන් 27%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 140ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 42ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+24.3), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+23), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+16.5), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+6.4), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+3.7), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-2.4), ඕවර්සීස් රියැලිටි (සිලෝන්) පීඑල්සී OSEA (-0.8), එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී HNBF (-0.6), ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී JINS (-0.4), ටැල් ලංකා හොටෙල්ස් පීඑල්සී TAJ (-0.3) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,547.10ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 13) ‍ට සාපේක්ෂව ඒකක 40.19ක එනම් +1.15%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.65ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක්තෝබර් 13) වාර්තා කළ රුපියල් බිලියන 3.38 ට  සාපේක්ෂව 22% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.29ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 45%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 21.85ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 27.96ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 6.12කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 45.27ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එයිට්කන් ස්පෙන්ස් හොටේල් හෝල්ඩිංග්ස් විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 4.16 කි. එසේම කොමර්ෂල් බැංකුව පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 6.66ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 670ක් සඳහා බැංකු දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 25%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ සමාගම් සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 585ක සහ රුපියල් මිලියන 443ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 263