ටී. සෙන්තිල්වර්ල් ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගමේ කොටස් වැඩි කර ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් පීඑල්සී සමාගමෙහි කොටස් 312,865ක් මිලදී ගැනීමට මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු වන ටී.සෙන්තිල්වර්ල් මහතා කටයුතු යොදා ඇතැයි පවසයි.

සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ඩී.එම්.ආර්. පිලිප්ස් මහතාට අයත්ව තිබූ කොටස් ප්‍රමාණයක් මෙලෙස අලෙවි කෙරී තිබේ. මෙහිදී සෙලාන් බැංකුව පීඑල්සී/සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම මගින් මෙම මිලදී ගැනීම සිදු කර ඇත.

කොටසක් රුපියල් 75ක මුදලකට සිදුව ඇති මෙම ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 23.4ක් (23,464,875ක්) ලෙස සටහන්ව තිබේ.

එසේම මෙලෙස ගනුදෙනුවූ කොටස් ප්‍රමාණය ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් පීඑල්සී සමාගමෙහි සමස්ත කොටස් ප්‍රමාණයෙන් 11.77ක් වන බවත් එම සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙම අත්පත් කරගැනීමත් සමගින්ම සෙන්තිල්වර්ල් මහතා සතුව ඇති ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් පීඑල්සී සමාගමෙහි කොටස් ප්‍රතිශතය කොටස් 20.64%ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය සැප්තැම්බර් 08 වැනිදා නිකුත් වූ සමාගමේ වාර්ෂික වාර්තාවට අනුව සෙන්තිල්වර්ල් මහතා සතුව 8.87%ක කොටස් හිමිකාරීත්වයක් පැවතුණි.

1964 වසරේදී පිහිටවුණු ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් පීඑල්සී සමාගම මෙරට වෙත Ricoh, Gestetner, Fujitsu, Benq සහ ASUS යන සන්නාමයන්ගේ භාණ්ඩ මෙරටට ආනයනය කර බෙදා හැරීම සිදු කරයි.

Visits: 417