ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අද සිට ඉහළට

අද (ඔක්.11) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට තීරණය කළ බව එම සමාගම් සඳහන් කර සිටියි.

ඒ අනුව ලිට්‍රෝ සමාගමේ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 2750ක් දක්වා රුපියල් 1,493 සිට රුපියල් 1,257කින් ඉහළ දැමීම සිදු කෙරී තිබේ. එසේම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 503කින් ඉහළ දමා ඇති අතර එහි වර්තමාන මිල රුපියල් 1,101 කි. මීට අමතරව කිලෝග්‍රෑම් 2.5 ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 520ක් දක්වා රුපියල් 231කින් ඉහළ දමා තිබේ.

මේ අතර ලාෆ්ස් ගෑස් සමාගමත් සිය කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,840ක් දක්වා රුපියල් 984කින් ඉහළ දමා ඇතැයි පවසයි. එසේම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,136ක් දක්වා රුපියල් 393කින් ඉහළ දමා තිබෙන බවත් එම සමාගම සඳහන් කර තිබේ. මෙම මිල ගණන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා වලංගුවන ආකරයෙන් ක්‍රියාත්මක වන බවද සමාගම වැඩිදුරටත් පවසා ඇත.

ඒ අනුව එතෙක් මෙතෙක් මෙරට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් සඳහා මිල කෙරුණු ඉහළම වටිනාකම බවටද මෙම අගයන් පත්ව තිබේ.

 2011 වසරේ සිට 2021 දක්වා වූ පසුගිය වසර 10ක කාලය තුළදී මෙරට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අවස්ථා ගණනාවකදීම අඩුවැඩිවීම්වලට ලක්ව ඇත. එහිදී 2011 වසරේදී රුපියල් 1,652ක්ව පැවැති ගෑස් සිලින්ඩරයක මිල 2013 වසරේදී 2,396ක් බවට පත්ව තිබේ. එහෙත් 2014 වසරේ අගදී එය රුපියල් 1,896ක් දක්වා අඩුවී පසුව 2015 වසරේ අවසානය වන විට රුපියල් 1,346ක් දක්වා අඩුවී තිබේ.

පසුව 2018 වසරේ අගදී එය රුපියල් 1,733ක් දක්වා ඉහළ ගොස් 2019 අගදී යළිත් 1,493ක් දක්වා අඩුවී ඇත. මෙලෙස 2‍්,750ක් දක්වා මිල ඉහළ ගියේ එලෙස 1,493ක්ව පැවැති ගෘහස්ත ගෑස් සිලින්ඩරයයි.

Visits: 209