නිමල් පෙරේරාගේ වාසනාවන්ත 8 ඉලක්කමේ මෝටර් රථ පෙළ

මෙරට මුල් පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා ඊයේ දිනයේදී තමන් සතු මෝටර් රථ පෙළෙහි ඡායාරූපයක් පළ කරමින් අද වනවිට තමන් සතුව ඇති එම වත්කම් පිළිබඳව අනාවරණයක් සිදු කළේය.

සිය ට්විටර් ගිණුම හරහා ඔහු මෙම ඡායාරූප පළ කර තිබේ. එහිදී Porsche, Volvo, Mercedes Benz සහ Range Rover යන මාදිලිවල රථ හතරක් මෙහි දැකගත හැකිය.

පුරා වසර 30ක් පොදු ප්‍රවාහනයේ ගමන් කළ තමා අද වන විට මෙලෙස සුපිරි මෝටර් රථ කිහිපයක හිමිකරුවෙකු බවට පත්ව සිටින බවත්, සිය එදිරිවාදීන්ට නොව තමා මෙන් වීමට කැමැති අයට පමණක් මේ පණිවුඩය ලබා දෙන බවත් ඔහු පවසා ඇත.

මෙහිදී එම සෑම රථයකම අංක තහඩුවෙහි ඇත්තේ අංක 8ත් අංක 5ත් පමණකි. ඒ අනුව CBI 5885, CAX 8558, CAC 5885 සහ CBH 8558 එම අංක වෙයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ එම අංක සියල්ලගේම අවසන් එකතුව අංක 8 වීමයි. ඒ පිළිබඳව ඔහු සිය සටහනේ තබා තිබේ.

“මෙන්න මගේ අංක 8. මේවා මගේ එදිරිවාදීන්ට නෙමෙයි මා වගේ වීමට කැමැති අයට පමණයි. යම් කිසි හෝ බලාපොරොත්තුවක් ඇති තරුණයන් සඳහා නිර්මල හදවතින් මේ ඡායාරූපය පළ කරන්නේ. මට පුළුවන් නම් ඇයි ඔබට බැරි. මම වසර 30ක් පුරා බස් රථයේ ගමන් ගිය කෙනෙක්.” නිමල් පෙරේරා මහතා මේ සටහනේ තබා තිබේ.

Visits: 5732