අමිතාබ් බච්චන් ‘Paan Masala’ වෙළෙඳ නාමය ප්‍රවර්ධන දැන්වීම්වලින් ඉවත් වෙයි

ඉන්දියාවේ අංක එකේ සිනමා නළුවෙකු වන අමිතාබ් බච්චන් එරට නිෂ්පාදනයක් වන ‘Paan Masala’ වෙළෙඳ නාමය ප්‍රවර්ධන දැන්වීම්වලින් ඉවත් වීමට තීරණය කර ඇතැයි පවසයි.

79 හැවිරිදි ඔහු එම දැන්වීම්වල පෙනී සිටීම සම්බන්ධයෙන් රසිකයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ අමිතාබ් බච්චන් මෙම තීරණය ගෙන තිබේ.

වසර ගණනාවක සිටම බච්චන් මෙම වෙළෙඳ නාමය ප්‍රවර්ධන දැන්විම් සඳහා සම්බන්ධව සිටියි.

අමිතාබ් බච්චන්ගේ කාර්යාලය මගින් පවත්වාගෙන යන නිල බ්ලොග් අඩවිය මගින් ඊයේ රාත්‍රියේදී මේ පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව ‘Paan Masala’ වෙළෙඳ නාමය ප්‍රවර්ධනය සඳහා තමන් මෙතෙක් ලබා ගෙන ඇති මුදල් ආපසු එම සමාගම වෙත ලබා දීමට තමන් කටයුතු කර ඇතැයිද බච්චන් පවසා ඇත.

“මෙම දැන්වීම විකාශය වී දින කිහිපයකට පසුව, බච්චන් මහතා අදාළ වෙළෙඳ නාමය හිමි සමාගම අමතලා එම දැන්වීමට පෙනී සිටීමෙන් ඉවත් වුණා.” යනුවෙන් එහි සඳහන්ව තිබේ.

මෙම වෙළෙඳ දැන්වීම තහනමට ලක්ව ඇති නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා ගන්නා දැන්වීමක් (surrogate advertising) බවට නොදැන සිටීම අමිතාබ් බච්චන් ඊට ඉදිරිපත්වීමට හේතුව වූ බවත්, ඒ පිළිබඳව දැනගත් වහාම ඔහු එම එකඟතාවෙන් ඉවත් වූ බවත් එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.

“බච්චන් මහතා එම වෙළෙඳනාමය සමග පැවැති කොන්ත්‍රාත් ගිවිසුමෙන් ඉවත් වුණා. එම ඉවත්වීම පිළිබඳව ඔහු ලිඛිතව එම සමාගමට දන්වා මෙම ප්‍රවර්ධනය වෙනුවෙන් ඔහු ලබා ගත් මුදල් යළිත් එම සමාගම වෙත ලබා දීමට පියවර ගෙන තිබෙනවා.” එහි සඳහන් වෙයි.

මෙම ‘Paan Masala’ වෙළෙඳ නාමය යටතේ ඉදිරිපත් කෙරෙන නිෂ්පාදන මත්ද්‍රව්‍ය කාණ්ඩය යටතට ගැනෙන අතර, ඒවා දූමපානයෙන් තොර දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන ලෙස හඳුන්වා දී තිබේ. අද වනවිට ඉන්දියාව පුරා සැෂේ පැකට්හි සිට විශාල පැකට්ටු දක්වා අද වනවිට මෙම නිෂ්පාදන ඉදිරිපත් කරයි.

ඉන්දියාවේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ජාතික දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන මුලිනුපුටා දැමීමේ සංවිධානය පසුගිය මාසයේදී අමිතාබ් බච්චන් හමුවී ඉදිරියටත් මෙම Paan Masala වෙළෙඳ නාමය ප්‍රවර්ධනය කරන දැන්වීම්වල පෙනී නොසිටින ලෙසද ඉල්ලීම් සිදු කර තිබූ බවත් පැවසෙයි.

2018 වසරේදී Paan Masala වෙළෙඳ නාමය සිය ප්‍රවර්ධනය සඳහා හොලිවුඩයේ සුප්‍රසිද්ධ නළුවෙකු වන පියර්ස් බ්‍රොස්නන් යොදා ගෙන තිබුණි. කෙසේ වෙතත් ඔහුද පසුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් අදාළ සමාගම මෙම නිෂ්පාදන හරහා සිදුවන අහිතකර බලපෑම පිළිබඳව තමන්ට වංචාවක් කරමින් මෙම ප්‍රවර්ධනය සඳහා යොදා ගත් බව පවසා තිබුණි.

Visits: 134