ජපානය තුළ ‘ලක්සල හස්ත කර්මාන්ත’ නිපැයුම් වරලත් අලෙවිකරණය සඳහා සාලා එන්ටප්‍රයිස් එක්වෙයි

ජපානය තුළ ලක්සල හස්ත කර්මාන්ත නිපැයිමු අලෙවි කිරීම සඳහා ලක්සල හස්ත කර්මාන්ත ආයතනය සහ සාලා එන්ටප්‍රයිසස් ආයතනය ප්‍රධාන වරලත් ව්‍යාපාරික ගිවිසුමක් සඳහා පසුගියදා අත්සන් තැබූ බව පවසයි.

ජපානය තුළ ලක්සල වරලත් අලෙවිකරණ නියෝජිතයෙකු සඳහා සිදු කළ ඉල්ලීමට අනුව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මේ සඳහා පහසුකම් සලසා තිබේ.

ඒ අනුව දැනට ජපානය තුළ ‘ලක්සල’ හි ප්‍රධාන වරලත් වෙළඳ සාමාජිකත්වය දරන සාලා එන්ටප්‍රයිසස් ආයතනය, 100% ක් ශ්‍රී ලාංකික නිෂ්පාදන රැගත් M&J රීටේල් අවුට්ලට්ස් ආයතනය සිය ප්‍රථම වරලත් සාමාජිකයා ලෙස තෝරා ගෙන ලක්සල හස්ත කර්මාන්ත නිෂ්පාදන ප්‍රචාරය කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කොට ඇතැයි සඳහන් වෙයි. 

M&J සමූහයේ නවතම සිල්ලර වෙළඳසැල මීට සති කිහිපයකට පෙර නරිටා හි AEON Mall සුපිරි වෙළඳ සංකීර්ණය තුළ දී විවෘත කෙරුණු අතර, එහි මහා පරිමාණ ඉතාලි අවන්හලක් ද ක්‍රියාත්මක කෙරේ.

ජපානය තුළ මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙන සියලු වෙළඳ කටයුතුවල මෙහෙයුම් සංවිධාන අංශ සඳහා පහසුකම් ද M&J ආයතනය විසින් සපයා දෙනු ලැබේ. ප්‍රධාන වරලත් වෙළඳ ආයතනය වන සාලා එන්ටප්‍රයිසස්, ජපන් පාරිභෝගිකයන් සඳහා විශේෂයෙන් නිර්මාණය කළ, ජපන් භාෂාවෙන් ලක්සල භාණ්ඩ ලබා ගැනීමට පහසුකම් සපයන වෙබ් අඩවියක් එළිදැක්වීමට සැලසුම් කර සිටියි.

මේ අතර ලක්සල විසින් ජපානයට ගෙන යනු ලබන ශ්‍රී ලාංකික භාණ්ඩ 50,000 කට වැඩි ප්‍රමාණයක් සිල්ලර වශයෙන් බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හවුල්කරුවන් වැඩි පිරිසක් සොයන බවත් පවසා සිටියි.

ඒ අනුව ජපානය තුළ ලක්සල නිෂ්පාදන බෙදා හැරීම පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්ව සිටී නම් කරුණාකර මෙම දූත මණ්ඩලයේ වාණිජ ලේකම් කපිල ජේ. කුමාර මහතා com@lankaembassy.jp ඔස්සේ සම්බන්ධ කරගත හැකි බවත් තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන බොහොමයක් සඳහා ජපානයෙන් යම් බදු පනවා තිබුණ ද, ලක්සල හස්ත කර්මාන්ත භාණ්ඩ බොහොමයක් ශුන්‍ය හෝ අවම බදු ගාස්තු සහිත සුසංගත පද්ධති කේත (HS Codes) යටතට ගැනෙනු ඇති අතර, එය නිසැකවම ශ්‍රී ලංකාවට වාසිදායක වනු ඇතැයිද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 105