ඉන්දීය රජයට අයත් එයාර් ඉන්දියා ගුවන් සේවය ටාටා සමූහයට අලෙවි කෙරේ

ඉන්දියානු රජය යටතේ ක්‍රියාත්මක එයාර් ඉන්දියා (AirIndia) ගුවන් සේවය ඉන්දියානු රුපියල් කෝටි 18,000ක මුදලකට එරට මුල් පෙළේ සමාගම් සමූහයක් වන ටාටා සමූහය වෙත අලෙවි කිරීමට තීරණය කළ බව එරට බලධාරීන් විසින් ඊයේ නිවේදනය කරන ලදි.

2017 වසරේදී ඉන්දීය රජය ගත් තීරණයකට අනුව එයාර් ඉන්දියා ගුවන් සේවය පෞද්ගලීකරණයට පියවර ගත් අතර, ගෙවුණු වසර තුනේදීම ඒ සඳහා සුදුසු ගැණුම්කරුවෙකු සොයා ගැනීමට ඉන්දීය රජය අපොහොසත් වූ බව එරට මාධ්‍ය පවසයි. කෙසේ වෙතත් අවසානයේදී ටාටා සමූහය (Tata Sons) මගින් ගුවන් සමාගම මිලදී ගැනීමට පසුගියදා සිය කැමැත්ත පළ කර තිබේ.

ඒ අනුව ඉන්දියාව තුළ ගෙවුණු දශක දෙකක ලාය තුළදී සිදු වන වඩාත් වැදගත්ම රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය මෙය බවටද ඉතිහාසයට එක්ව තිබේ. ආසන්න වසර කිහිපයේදී එයාර් ඉන්දියා ගුවන් සේවය පාඩු ලබන ආයතනයක් බවට පත්ව තිබීමත්, රජයට අයත් ව්‍යවසායක් ලෙස එහි රාජ්‍ය ණයබරතාව ඉහළයාමත් යනාදී කාරණා හේතුවෙන් මෙලෙස එය පෞද්ගලිකකරණය කිරීමට පියවර ගැනුණි.

මෙම අත්පත් කරගැනීමත් සමගින්ම එයාර් ඉන්දියා ගුවන්සේවය මගින් ක්‍රියාත්මක කළ අඩුමිල ගුවන් සේවයක් වූ එයාර්ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් සේවය ටාටා සමූහය වෙත හිමිව ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව මෙම එකඟතාව යටතේ ටාටා සමූහය මගින් මෙම අත්පත් කරගැනීම සඳහා ඉන්දියානු රජය වෙත රුපියල් කෝටි 2,700ක් මුදල් ලෙස ගෙවීමට නියමිතව තිබේ. එසේම ඉතිරි ඉන්දීය රුපියල් කෝටි 15,300ක මුදල එම ගුවන් සමාගම සතු ණය ලෙස ගෙවීමට තීරණය වී ඇත.

එසේම ගුවන් සමාගම මගින් කල්බදු පදනම මත ලබා ගෙන ඇති ගුවන් යානා 42ක් සඳහා ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 9,185ක මුදලක්ද ගෙවිය යුතුව තිබේ. මෙම ගුවන් යානා අතරින් වැඩිමනක්ම බොයිං 787 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානා බව පැවසෙයි.

මේ අතර අද වනවිට එයාර් ඉන්දියා ගුවන් සේවය සතුව සේවකයන් 12,000කට අධික පිරිසක් සිටින අතර, සිය සමූහය යටතේ පළමු වසරේ මෙහෙයුම් තුළදී එම සේවකයන් එලෙසින්ම පවත්වාගෙන යාමටත් ඉදිරියේදී ඔවුන් සීමා කිරීමක් වෙත පිවිසීමටත් අදහස් කරගෙන සිටින බවද ටාටා සමූහය දැනුම් දී තිබේ.

ඒ අනුව වසර 68කට පමණ පසුව යළිත් Air India ගුවන් සේවය ටාටා සමූහය වෙත හිමිවූ අවස්ථාවක් බවටත් මෙය සනිටුහන්ව තිබේ. 1953 වසරේදී ටාටා සමූහයේ නිර්මාතෘ ජේ.ආර්.ඩී. ටාටාගේ මූලිකත්වයෙන් මෙම TATA Air Lines නමින් ගුවන් සමාගමක් ඇරඹී තිබේ. පසුව එය TATA Air India බවට පත්ව ඇත. අනතුරුව එය රජයට පවරා ගැනීමත් සමගින්ම Air India බවට පත් විය.

එයාර් ඉන්දියා ගුවන් සමාගම මිලදී ගැනීමේ සටනේදී ටාටා සමාගම සමගින් කරට කර සිටි අනෙක් සමාගම වන්නේ එරට ක්‍රියාත්මක SpiceJet සමාගමයි. එහි හිමිකරුවන අජේ සිං විසින් මෙම මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 15,100ක මුදලක් ලබා දීමට එකඟතාව පළ කර තිබී ඇත.

ටාටා සමූහයද දැනටමත් ඉන්දියාව තුළ ගුවන් සේවා ව්‍යාපාරය වෙත පිවිස සිටින අතර, මෙම අත්පත් කරගැනීම සිදු කරගත් Tata Sons සමිගම මගින් Vistara සහ AirAsia India යන ගුවන් සමාගම් දෙක ක්‍රියාත්මක කරවයි. ඒ අනුව මෙම අත්පත් කරගැනීමත් සමගින්ම ඔවුන් ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් සේවාවන්හි දෙවැනි විශාලතම ගුවන් සමාගම බවටද පත්ව ඇත.

එසේම ටාටා සමාගම ජාත්‍යන්තර ගුවන් ගමන් සිදු කරන ඉන්දියාවේ විශාලතම ගුවන් යානා සමාගම බවටත් මේ සමගින් පත්ව තිබේ.

මෙහිදී ටාටා සමූහය සිය Vistara ගුවන් සමාගම සහ AirIndia ගුවන් සමාගම ඒකාබද්ධ කරමින් ජාත්‍යන්තර ගුවන් ගමන් සිදු කිරීමටත්, එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් සේවය සහ එයාර්ඒෂියා ඉන්දියා ගුවන් සේවා දෙක ඒකාබද්ධ කරමින් අඩුමිල ගුවන් සේවා අවකාශය පිරවීමටත් කටයුතු යොදනු ඇතැයි සඳහන් වෙයි.

Visits: 184