සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සොෆ්ට්ලොජික් කැපිටල් වෙතින් රු.මිලියන 900ක ණයක් ගනියි

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහයට අයත් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිය මව් සමාගම වන සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමාගමෙන් රුපියල් මිලියන 900ක (900,000,000ක) ණයක් ලබා ගෙන ඇතැයි පවසයි.

ඊයේ (ඔක්තෝබර් 07) දිනයේදී මෙම ණය මුදල ලබා දීම සිදුව තිබේ. ඒ අනුව මෙය සබැඳි පාර්ශ්ව අතර සිදු වූ ගනුදෙනුවක් ලෙස සටහන්ව ඇත. මෙම සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමාගම සහ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම් දෙකම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් වෙයි.

සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට වසර පහකින් කල් පිරෙන ලෙස මෙම ණය මුදල සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී වෙත ලබා දී තිබේ.

මෙලෙස ණය මුදලක් ලබා දීමේ මූලිකම අරමුණ වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය ආයතන සුපරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සියලුම බැංකු නොවන මූල්‍ය සමාගම් මගින් පවත්වාගන යා යුතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සැපිරීම වෙනුවෙන් බවද සමාගම් දෙකම පවසා සිටියි.

“මෙම මුදල් හුවමාරුව වෙත පිවිසීම සඳහා මූලිකවම හේතු වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය ආයතන පිළිබඳ සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව එම මූල්‍ය සමාගම් මගින් පවත්වා ගෙන යා යුතු මූල්‍ය ප්‍රාග්ධන අවශ්‍යතාවන් පිළිබඳ අදියර ii නියාමනය සම්පූර්ණ කිරීම වෙනුවෙනි.” යනුවෙන් එහි සඳහන්ව ඇත.

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී විසින් සපුරා ගත යුතු මෙම මූලික ප්‍රාග්ධන අවශ්‍යතාව වෙනුවෙන් එම සමාගම සහ අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ඒකාබද්ධ කිරීමක් සම්බන්ධයෙන් මීට පෙර යෝජනා වී තිබුණද, පසුගිය මාසයේදී එම අදහස ඉවත් කරගන්නා බව සමාගම් දෙකම ප්‍රකාශ කර තිබුණි.

මෙම තත්ත්වයත් සමගින්ම අදාළ ප්‍රාග්ධන අවශ්‍යතාවන් සැපිරීම සඳහා සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සීහි මව් සමාගම වන සොෆ්ට්ලොජික් කැපිටල් මෙලෙස ඉදිරිපත්ව සිටියි.

මේ අතර සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පසුගියදා රුපියල් බිලියන 2.2ක් වටිනා සිය හිමිකම් කොටස් නිකුතුවක්ද සිදු කෙරිණි.

ඒ අනුව ලබා දෙන මෙම රුපියල් මිලියන 9ක ණය මුදල 2021 මාර්තු 31 වැනිදා වන විට විගණනය කෙරුණු ආසන්නතම මූල්‍ය වාර්තාවට අනුව සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමාගමෙහි කොටස් වටිනාකමෙන් 10%ක් ඉක්මවන බවත් එම සමාගම සඳහන් කර සිටියි.

මේ අතර ඊයේ සිදු වුණු මෙම සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුව සාමාන්‍ය වාණිජ නියමයන් අනුව සිදු වූවක් වන බවත්, එය කිසිදු ලෙසකින්වත් සමාගම් දෙකෙහිම සුළුතර කොටස් හිමිකරුවන්ට බලපෑමක් එල්ල නොවන්නක් වන බවත් සමාගම් දෙකම සඳහන් කරයි.

මෙම ගනුදෙනුවත් සමගින්ම සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී සමාගම සහ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම අරත සිදුව ඇති සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුවේදී නිකුත් කර ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් 901,740,000ක් දක්වා සටහන්වන බවත් පැවසෙයි.

එසේම මෙම ණය මුදලද සමගින් මෙම මූල්‍ය වර්ෂය සඳහා සිදුව ඇති සමස්ත සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුවල වටිනාකම රුපියල් 1,368.242,974.10ක් වන බවත් සොෆ්ට්ලොජික් කැපිටල්පීඑල්සී සමාගම පවසයි.

Visits: 200