රිලයන්ස් සමාගම ඉන්දියාව තුළ 7-Eleven වෙළෙඳ සැල් ජාලය දියත් කිරීමට යයි

ලොව සුප්‍රසිද්ධ 7-Eleven වෙළෙඳ සැල් ජාලයේ පළමු ඉන්දියානු අලෙවි සැල ලබන සෙනසුරාදා මුම්බායි නුවර අන්ධේරි නගරයේදී විවෘත කෙරෙන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා පවසයි. අද වන විට ලොව පුරා රටවල් රැසකම මෙම 7-Eleven වෙළෙඳ සැල් පිහිටා තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩලස් නගරයේ පිහිටි 7-Eleven Inc. සමාගම සමගින් ඇති කරගත් එකඟතාවකට අනුව ඉන්දියාවේ රිලයන්ස් රීටේල්ස් සමාගම මෙම 7-Eleven වෙළෙඳ සැල් ජාලය ඉන්දියාව තුළ පිහිටුවීමට කටයුතු යොදා තිබේ. මෙහිදී රියලන්ස් රීටේල් වෙන්චර්ස් මගින් එම එකඟතාවට පිවිස තිබේ.

මේ සමගින් 7-Eleven සන්නාමයේ ඉන්දියාව තුළ වරලත් හිමිකරුවා බවට පත්වීමට රිලයන්ස් රීටේල් සමත්ව ඇත. මීට පෙර මෙම වෙළෙඳ සැල් ජාලය ඉන්දියාව තුළ පිහිටුවීම සඳහා ෆියුචර් රීටේල් ලිමිටඩ් සමාගමද ඇමෙරිකාවේ 7-Eleven Inc. සමගින් එකඟතාවකට පිවිස තිබුණි.

මුම්බායිහි පිහිටුවන පළමු 7-Eleven වෙළෙඳ සැලෙන් අනතුරුව නගරයෙහි වාණීජමය වශයෙන් වැදගත් ප්‍රදේශ කිහිපයකම තවත් වෙළෙඳ සැල් කිහිපයක්ම පිහිටුවීමටද රිලයන්ස් රීටේල් සමාගම සැලසුම් කර තිබේ. මෙම වෙළෙඳ සැල් ජාලය පැය 24 පුරා විවෘතව පවතින්නකි.

රිලයන්ස් රීටේල් ලිමිටඩ් සමාගම අද වනවිට ආසියාවේ ධනවතා ලෙස සැලකෙන මුකේෂ් අම්බානිට අයත් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රිලයන්ස් රීටේල් වෙන්චර්ස් ලිමිටඩ් සමාගමේ අධ්‍යක් ඉෂා අම්බානි, “රිලයන්ස් සමාගම විදියට අපි හැමවිටම අපගේ පාරිභෝගිකයන්ට වඩාත් හොඳ දෙයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ. එහිදී ගෝලීයව පිළිගැනීමට ලක්ව ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත 7-Eleven වෙළෙඳ සැල් ජාලය ඉන්දියාව වෙත රැගෙන ඒමට හැකියාව ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා.” යනුවෙන් පවසා තිබේ.

මෙම එකඟතාව පිළිබඳව අදහස් දක්වා ඇති 7-Eleven Inc. හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ජෝයි ඩිපින්ටෝ, “ඉන්දියාව ලෝකයේ දෙවැනි විශාලතම රට වගේම අද ඉතාමත් වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් සහිත රටක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත ලෝකයේ විශාලතම වෙළෙඳ සැල් ජාලය ඉන්දියාවට එන්න මෙය හොඳම වෙලාවයි.” යනුවෙන් පවසා ඇත.

මීට පෙර 7-Eleven Inc. සමගින් මෙම ගිවිසුමට පිවිස සිටි ෆියුචර් රීටේල් ලිමිටඩ් සමාගම සිය සියලුම සිල්ලර වත්කම් රිලයන්ස් සමූහය වෙත අලෙවි කිරීමට එකඟතාවට පැමිණීමත් සමගින්ම මෙලෙස රිලයන්ස් රීටේල් වෙන්චර්ස් වෙත මෙම අවස්ථාවහිමිව තිබේ.

මෙම සතිය ආරම්භයේදී නිවේදනයක් නිකුත් කළ ෆියුචර් රීටේල් ලිමිටඩ් සමාගම එක්සත් ජනපදයේ 7-Eleven Inc. සමගින් ඇති කරගෙන තිබූ එකඟතාව අත්හිටුවන බව ප්‍රකාශ කර තිබුණි. එම වෙළෙඳ නාමය සහිත අලෙවි සැල් නියමිත කාලයේදී විවෘත කිරිම සඳහා අපොහොසත්වීම සහ අදාළ සන්නාමයෙහි වරලත් හිමිකාරීත්වය සඳහා වන ගෙවීම් සිදු කිරී‍මේ නොහැකියාව ඊට හේතුව බව සමාගම සඳහන් කර තිබුණි.

Visits: 156