බැංකු සඳහා වන මිලදී ගැනීමේ උනන්දුව ඉහළට, සති දෙකකට පසු අඩුම පිරිවැටුම වාර්තා වෙයි

අද (ඔක්තෝබර් 07) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතර ඉතාමත් සාර්ථක ආරම්භයක් පැවැති බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් එක්ස්පෝ ලංකා සහ එල්ඕඑල්සී සමූහයේ සමාගම් සම්බන්ධයෙන් ආයෝජකයන් වැඩි වශයෙන් ලාභ හිමි කරගැනීමට යාමත් සමගින්ම දර්ශක අගයන් පහත වැටීම සිදු වී තිබේ. 

මේ අතර බැංකු සඳහා වන උනන්දුවද අද දිනයේදීද තවදුරටත් ඉහළ යාමක් පෙන්නුම් කර ඇත. එහෙත් ඉන්ධන සඳහා ඕමානයෙන් ලබා ගන්නා එක්සත් ජනපද ඩොලර් බිලියන 3.6ක ණය පහසුකම් පිළිබඳ සටහනත් සමගින් බැංකු සඳහා වන උනන්දුවද යම් තරමකින් පහත වැටුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

කෙසේ වෙතත් දිනයේ පසු අවස්ථාවේදී ආයෝජකයන් තුළ මිලදී ගැනීමේ උනන්දුව තවදුරටත් වර්ධනයවීමක් පෙන්නුම් කර තිබේ. එහෙත් දිනයේ පිරිවැටුම සති දෙකකට පසුව අඩුම අගයකට අද පත් වූ බවත් එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 9,582.98ත් ඒකක 9,687.95ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,671.00ක් බවට පත්විය. එය ඊයේ (ඔක්තෝබර් 06) දිනයට සාපේක්ෂව ඒකක 44.55ක් එනම් +0.46%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව හේලිස් ලෙෂර් පීඑල්සී සහ හේලීස් පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 1.5%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 110ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 92ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+15.7), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+11.9), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+11.0), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (+5.8), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+3.0), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.2), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-2.7), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (-2.5), ඊඩ්න් හොටෙල්ස් පීඑල්සී EDEN (-1.9), රොයල් සෙරමික්ස් පීඑල්සී RCL (-1.7යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,619.47ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 06) ‍ට සාපේක්ෂව ඒකක 17.01ක එනම් +0.47%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.5ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක්තෝබර් 06) වාර්තා කළ රුපියල් බිලියන 4.11ට සාපේක්ෂව 15% ක පහළ වැටීමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.31ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 45.56%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 21.3ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 88.3ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 66.98කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 45.12ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 3.84 කි. එසේම කොමර්ෂල් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 22.19ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 950ක් සඳහා බැංකු අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 27%කි. එසේම ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 646ක සහ රුපියල් මිලියන 603ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 216