කොළඹ නෙළුම් කුළුණේ ඉදිරි වැඩ සඳහා TRC ය වෙත තවත් ඉඩමක් හිමි වෙයි

කොළඹ නෙළුම් කුළුණ දේශීය හා වි‍දේශීය නරඹන්නන් ආකර්ශනය කර ගැනීම සඳහා සහ එහි සේවය කරන පිරිසගේ අවශ්‍යතාවන් වෙනුවෙන් නව ඉදිකිරීම් සඳහා අවශ්‍ය තවත් ඉඩමක් අත්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත රජයේ අනුමැතිය හිමිව ඇතැයි පවසයි.

අද පෙරවරුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ කරුණු අනාවරණ විය. තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

නෙළුම් කුළුනේ සියලුම පරිපාලන කටයුතු විදුලි සංදේශ නියාමන කොමිෂම යටතට පත් කර ඇති අතර, එය තාක්ෂණ අමාත්‍යාංශ යටතේ පවතින ආයතනයකි.

ඒ අනුව කුළුණට ආසන්නව බේරේ වැව ආශ්‍රිත ව නවීන ජල සංදර්ශන උද්‍යානයක් ඉදි කිරීම, ආහාර අලෙවිසැල් ස්ථාපනය කිරීම මෙන්ම එම කුළුණේ සේවයේ යෙදවීමට අපේක්ෂිත කාර්යමණ්ඩල කණ්ඩායම් සඳහා කාර්යාල, නවාතැන් සහ යටිතල පහසුකම් ඒ ආශ්‍රිත පරිශ්‍රයේ ඉදි කිරීම යනාදිය වෙනුවෙන් මෙම ඉඩම් වෙන් කිරීම සිදු කෙරේ.

එසේම දැනට සැලසුම් කර ඇති රථගාල තවදුරටත් පුළුල් කිරීම ආදී සංවර්ධන කටයුතු සිදු කළ යුතු බව හඳුනාගෙන ඇතැයිද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රජය වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව,  අදාළ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා එම ව්‍යපෘති පරිශ්‍රය ආශ්‍රිතව පිහිටි, නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 4 රූඩ් 3 පර්චස් 24.47ක ප්‍රමාණයේ ඉඩම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පවරා දීම පිණිස අනුමැතිය හිමිව තිබේ.

මේ අතර, නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වෙමින් පවතින අතර එහි වාණිජකරණ සහ මෙහෙයුම් කටයුතු සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් පවසයි.

Visits: 115