DFCC බැංකුව World Mastercard ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දෙයි

DFCC බැංකුව, World Mastercard ක්‍රෙඩිට් කාඩ්පත හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළ බව පවසයි. විශේෂයෙන්ම ඉහළ පෙළේ වෘත්තිකයන්ට, ව්‍යවසායකයන්ට සහ ව්‍යාපාරිකයන්ට මෙමගින් ප්‍රතිලාභ රැසක් අත්වනු ඇත.

1% සිට 1.5% දක්වා CashBack දීමනා, නාමික වාර්ෂික ගාස්තුවක් සහිත ණය රක්ෂණ ක්‍රම, මෙරටදී හෝ විදේශයකදී ක්‍රෙඩිට් කාඩ්පත සොරාගනු ලැබූ හෝ අස්ථානගත වූ අවස්ථාවකදී සිදුවිය හැකි වංචාකාරී ක්‍රියා වලින් ආරක්ෂාව ලබාදෙන ‘Wallet Guard’ ආවරණය වැනි ප්‍රතිලාභ රාශියක් මෙම නව DFCC World Mastercard ක්‍රෙඩිට් කාඩ්පත මගින් ගනුදෙනුකරුවන් වෙත හිමි වේ.

එමෙන්ම විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, ජාතික හැඳුනුම්පත, යතුරු සහ මුදල් වැනි වටිනා දේවල් අස්ථානගත වූ අවස්ථාවකදී ඒවා නැවත සොයා ගැනීමටද මෙමගින් සහයෝගය හිමිවීම විශේෂත්වයකි.

මීට අමතරව මෙම ක්‍රෙඩිට් කාඩ්පත මගින් මෙරටදී මෙන්ම විදේශ රටවලදී තවත් ප්‍රතිලාභ රාශියක් හිමිවන අතර, වෙනම ණය සීමාවක් සහිත නව කාඩ්පතක් අයදුම් කිරීම හෝ දැනට පවතින ක්‍රෙඩිට් කාඩ්පතේ සීමාව කොටස් දෙකකට බෙදීම යන ක්‍රම අතරින් තමන් කැමති ක්‍රමයක් අනුව DFCC World Mastercard ක්‍රෙඩිට් කාඩ්පතක් ඉල්ලා සිටීමට ගනුදෙනුකරුවන්ට දැන් අවස්ථාව හිමි වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා “DFCC World Mastercard ක්‍රෙඩිට් කාඩ්පත යනු, ඩිජිටල් තාක්ෂණය පුළුල් ලෙස භාවිතා කරන පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුවක් බවට පත්වීම සඳහා අප දරන උත්සාහයේ ඉතාමත් වැදගත් ඉදිරි පියවරක්. එමෙන්ම අපගේ සේවා එකතුවට Mastercard එක්කර ගැනීමට හැකිවීම ගැන අප ආඩම්බර වනවා. මේ නිසා දැන් අපගේ ගනුදෙනුකරුවන්ට කාඩ්පත් වර්ග කිහිපයක් අතරින් තම රුචිකත්වය අනුව කාඩ්පතක් තෝරාගැනීමට හැකි වනවා. නව කාඩ්පත මගින් ගනුදෙනුකරුවන්ගේ මිලදී ගැනීම් හැකියාව ඉහළ යන අතරම, ඔවුන්ට CashBack දීමනා සහ විශේෂ රක්ෂණ ක්‍රම ඇතුළු ප්‍රතිලාභ රැසකුත් හිමිවනවා. මේ සියල්ල ඔවුන්ගේ මූල්‍ය සුරක්ෂිතතාව මෙන්ම ඔවුන් DFCC බැංකුව කෙරෙහි ඇති ළැදියාව තවදුරටත් වර්ධනය කිරීමට උපකාරී වේවි.” යනුවෙන් පවසයි.

Mastercard සඳහා දේශීය කළමනාකරු (ශ්‍රී ලංකාව සහ මාලදිවයින) රාජේශ් මානි මහතා අදහස් දක්වමින්, “ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් වල පෙර නොවූ විරූ වර්ධනයක් මේ වනවිට දැකගැනීමට පුළුවන්. මෙවැනි ක්‍රමෝපායික හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීමට මගින් අපට මෙම ප්‍රවණතාව තවදුරටත් වේගවත් කිරීමට හැකියාව ලැබේවි. මෙය මුදල් භාවිතය අවම මට්ටමක පවතින සමාජයක් නිර්මාණය කිරීම ඉලක්ක කරගත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ Digital 2020 දැක්ම සමගද සමගාමී වනවා. මේ ආකාරයට DFCC බැංකුව සමග එක්වී, Mastercard මගින් ලැබෙන පහසුව හා ප්‍රතිලාභ අත්විඳීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබාදීමට හැකිවීමට අපට මහත් සතුටක්.” යනුවෙන් සඳහන් කරයි.

Visits: 89