වටිනාකම් පහත වැටී ඇති blue-chip සමාගම් සඳහා දෙස් විදෙස් ආයෝජක උනන්දුව ඉහළට

අද (ඔක්තෝබර් 05) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඉතාමත් සාර්ථක ආරම්භයකින් යුක්ත වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සම්බන්ධයෙන් ආයෝජකයන් වැඩි වශයෙන් ලාභ හිමි කරගැනීමට යාමත් සමගින්ම දර්ශක අගයන් පහත වැටීම සිදු විය. 

මේ අතර ඉදිරියේදී මිල ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුවෙන් හෝටල් සමාගම් සඳහා වන ආයෝජක උනන්දුව අද දිනයේදී තවදුරටත් ඉහළ ගොස් තිබේ. මේ අතර අද දවසේදී මිල ගණන් අඩුව ඇති එහෙත් වඩාත් ශක්තිමත් –  ස්ථාවර සමාගම් (blue-chip companies) කොටස් මිලදී ගැනීම සඳහා වන දේශීය සහ විදේශිය ආයෝජක උනන්දුවක්ද අද දිනයේදී දැකගත හැකි වූ බවත් එම තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 9,496.13ත් ඒකක 9,605.81ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,533.64ක් බවට පත්විය. එය ඊයේ (ඔක්තෝබර් 04) දිනයට සාපේක්ෂව ඒකක 8.69ක් එනම් -0.09%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව විදුල්ලංකා පීඑල්සී සහ එන්ඩීබී බැංකුව තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 1.3%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 87ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 98ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+7.16), කොමර්ෂල් බැංකුව COMB (+5.8), සම්පත් බැංකුව SAMP (+4.62), පාම් ගාඩන් හොටෙල්ස් පීඑල්සී PALM (+4.49), හේමාස් හොස්පිටල්ස් පීඑල්සී HHL (+3.48), එක්ස්පෝ ලංකාහෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-26.32), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-6.14), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-5.6), හේලීස් පීඑල්සී HAYL (-3.37), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.22යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,539.74ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 04) ‍ට සාපේක්ෂව ඒකක 0.50ක එනම් -0.01%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.72ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක්තෝබර් 04) වාර්තා කළ රුපියල් බිලියන 3.62ට සාපේක්ෂව 30% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.25ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 43.50%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 127.43ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 174.81ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 47.38කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 44.95ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය රෝයල් සෙරමික්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 35.86 කි. එසේම එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 107.11ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,283ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 27%කි. ප්‍රාග්ධන භාණ්ඩ සහ එසේම ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 854ක සහ රුපියල් මිලියන 972ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 572