රු.බිලියන 10ක් සඳහා සිංගර් (ශ්‍රී ලංකා) වත්කම් විකිණීමේ හේලීස් සැලසුම තවමත් එලෙසින්මලු

මෙරට මුල් පෙළේ ලැයිස්තුගත සමාගමක් වන හේලීස් පීඑල්සී සමූහය සිය පරිපාලිත සමාගමක් වන සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී හි ණය ගෙවීම වෙනුවෙන් එම සමාගම සතු වත්කම්වලින් කොටසක් අලෙවි කිරීමේ සැලසුම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වෙයි.

පසුගිය සතියේදී නිකුත් වුණු ICRA Lanka Limited සමාගම මගින් සකස් කළ හේලීස් පීඑල්සී සමාගමේ ණය වර්ගීකරණ වාර්තාව තුළ මේ පිළිබඳව සඳහන්ව තිබේ. මෙම අලෙවිය හරහා රැස් කිරීමට බලාපොරොත්තු වන මුදල රුපියල් බිලියන 10කි.

ඒ අනුව හේලීස් සමාගම විසින් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම සතු මෙතෙක් භාවිතයට ගෙන නොමැති නිෂ්චල දේපළ සහ එම සමාගමේ කොටස් සුළු ප්‍රමාණයක් අලෙවි කරමින් මෙම මුදල රැස් කර ගන්නා බව පසුගිය වසරේදී පළමුවරට අනාවරණය කරන ලදී.

කෙසේ වෙතත් කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ උද්ගතව වූ අයහපත් ආර්ථික තත්ත්වය නිසා එම සැලසුම් සාර්ථක කරගැනීමට හේලීස් සමූහයට නොහැකි විය. එහෙත් ICRA Lanka Limited ආයතනය සඳහන් කරන ආකාරයට හේලීස් සමූහය තවදුරටත් මෙම වත්කම් අත්හැරීමේ සැලසුම් වෙත අවධානය යොමු කරමින් සිටින බව පැවසෙයි.

මෙලෙස පසුගියදා ICRA Lanka Limited ආයතනය මගින් හේලීස් පීඑල්සී සමාගම සම්බන්ධයෙන් නිකුත් කළ මෙම ණය වර්ගීකරණ වාර්තාවට අනුව 2021 මර්තු මාසය අවසන් වනවිට සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගම සතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 26.2කි. එය පෙර වසරේ පැවැති රුපියල් බිලියන 27.3 ක ණය ප්‍රමාණය හා සැසඳීමේදී යම් අඩුවීමකි.

කෙසේ වෙතත් 2021 ජුනි මාසයේදී සිංගර්(ශ්‍රීලංකා) පීඑල්සී සමාගම සතු ලැයිසිතුගත කොටස්හි වටිනාකම වූ රුපියල් බිලියන 10.4 හා සැසඳීමේදී එම වත්කම් කැපී පෙනෙන ලෙස ඉහළය. ඒ අනුව මෙම ණය ප්‍රමාණය අදවනවිට එහි කොටස් හිමිකරුවන්ගේ අරමුදල් හා සාපේක්ෂව තුන් ගුණයක් ආසන්නයට පත්ව තිබේ.

මේ අතර 2021 ජූනි දක්වා වන මාස තුනේදී එනම් සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී හි පළමු මූල්‍ය කාර්තුවේදී එහි කොටසක් මගින් ශත 39ක් බැගින් රුපියල් මිලියන 439.3ක් උපයා ගැනීමට සමත්ව ඇත. එය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 20%ක වර්ධනයකි.

Visits: 977