යුධීෂ්ත්‍රන් කනගසබෙයි දංකොටුව පෝර්සිලේන් සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත දංකොටුව පෝර්සිලේන් පීඑල්සී සමාගමෙහි නව සභාපතිවරයා ලෙස යුධීෂ්ත්‍රන් කනගසබෙයි මහතා පත් කර ඇතැයි එම සමාගම නිවේදනය කර සිටියි. 2021 ඔක්තෝබර් 01 වැනිදා සිට ඒ මහතා විධායක නොවන අධ්‍යක්ෂ/සභාපතිවරයා ලෙස පත්වීම් ලැබ තිබේ.

මෙතෙක් එම සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ රාජන් ආසිර්වාතම් මහතා පසුගිය සැප්තැම්බර් 29 වැනිදා එම ධුරයෙන් ඉවත්වීමත් සමගින්ම හිස් වූ සභාපති ධුරය සඳහා මෙම නව පත් කිරීම සිදුකර තිබේ.

දංකොටුව පෝර්සිලේන් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත සමාගමකි.

කනගසබෙයි මහතා 2020 දෙසැම්බර් මාසයේදී ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සම්බන්ධ වී තිබේ. මෙලෙස දංකොටුව පෝර්සිලේන්හි සභාපතිවරයා ලෙස පත්වීමට පෙරාතුව ඒ මහතා ඇම්බියොන් සමූහයට අයත්ව තිබූ සවුත් ඒෂියන් ටෙක්ස්ටයිල්ස් ලිමිටඩ් සමාගමේ සභාපතිවරයාව සිටියේය. එම සමාගම පසුව හේලීස් සමූහය විසින් අත්පත් කරගැනුණි.

මේ අතර දංකොටුව පෝර්සිලේන්හි සභාපතිවරයා ලෙස පත්වන අවස්ථාව වනවිට කනගසබෙයි මහතා සමාගම් රැසකම විගණන කමිටු සභාපතිවරයා මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කරමින් සිට ඇත.

ඒ අනුව සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී, ඊස්වරන් බ්‍රදර්ස් එක්ස්පෝර්ට්ස් ලිමිටඩ්, මිලේනියම් IT ESP එම සමාගම් වෙයි. ඊට අමතරව කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී, හන්ටර්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සහ ලංකා කැනරීස් ලිමිටඩ් යන සමාගම්හි ස්වාධීන නොවන විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කරයි. මීට අමතරව කාර්ගිල්ස් ෆුඩ් කම්පැනි ලිමිටඩ්, කාර්ගිල්ස් බෑන්ක් ලිමිටඩ් හි විධායක වෙනා අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරයි.

ඊට පෙර ඒ මහතා 2016 අගෝස්තු මාසයේ සිට සිට 2018 දෙසැම්බර් 31 දක්වා යුනියන් බැංකුවෙහි විගණන කමිටුවෙහි සභාපතිවරයා විය. එසේම ඒ මහකා 2018 මැයි සිට නොවැම්බර් මාසය දක්වා සහ 2018 දෙසැම්බර් සිට 2019 නොවැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා ලෙසද කටයුතු කළේය.

යුධීෂ්ත්‍රන් කනගසබෙයි මහතා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකුද වෙයි. මීට පෙර ඒ මහතා PricewaterhouseCoopers සමාගමෙහිද සේවය කර තිබේ.

Visits: 204