කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සමඟ INSEE තවදුරටත් පරිසරය වෙනුවෙන් කැපවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ එකම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම විසින් තම පරිසර ආරක්‍ෂණ වැඩසටහන් මාලාව යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාරු, සේරක්කුලිය කලපුව ආශ්‍රිතව හෙක්ටයාර 1 ක ස්වාභාවික කඩොලාන වනාන්තරයක් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළ බව පවසයි.

දකුණු දිග කොග්ගල ගඟේ තලාතුඩුව සහ කුරුලු දූව යන දූපත් ආශ්‍රිතව සිදු කෙරෙමින් පවතින ‘INSEE කඩොලාන ප්‍රතිසංස්කරණ’ ව්‍යාපෘතියෙහි නවතම වැඩසටහන ලෙස මෙම අරුවක්කාරු හි කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, එහි මූලික අදියරේ දී වසරක කාලයක් තුළ කඩොලාන පැළ 1500 ත් 2,000 ත් අතර ප්‍රමාණයක් අලුතින් සිටුවීම ඇතුළු අනෙකුත් පාරිසරික සංරක්‍ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බව සඳහන් වෙයි.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ සංවිධාන හා මානව සම්පත් අධ්‍යක්‍ෂ චන්දන විජයනාම මහතා, “අරුවක්කාරු කඩොලාන ප්‍රතිසංස්කරණ වැඩසටහන INSEE සිමෙන්ති සමාගම මගින් ක්‍රියාත්මක කරන පරිසර ආරක්ෂණ ව්‍යාපෘතියේ ‘ජලය සහ ජෛව විවිධත්වය’ කියන කාණ්ඩය යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනක්. කලපු තුළ පාරිසරික වාසස්ථාන වැඩිදියුණු කිරීම තුළින් මත්ස්‍ය සම්පත වැඩිදියුණු කිරීම, ජල තරංග වලින් ආරක්‍ෂාවීමේ හැකියාව වර්ධනය කිරීම මගින් කඩොලාන ප්‍රතිසංස්කරණය කිරීම ආදී ප්‍රථිලාභ රැසක් මෙම වැඩසටහන් මගින් පාරිසරික පද්ධතිවලට ලැබෙන බව පැවසිය යුතුමයි. අපි ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති නිෂ්පාදකයා විදියට ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කරගැනීමට උනන්දුවන ආකාරයට ම, මේ රටේ ස්වාභාවික සම්පත් සහ ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම සඳහාත් උපරිමයෙන් කැප වෙනවා.” යනුවෙන් පවසා සිටියි.

INSEE සිමෙන්ති සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන පරිසර ආරක්ෂණ ව්‍යාපෘති මගින් ගල්කොරි, කඩොලාන, වැසි වනාන්තර සහ කොරල් පර යන පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය, සංරක්‍ෂණය සහ පුනරුත්ථාපනය කෙරෙහි විශේෂ අවධානය යොමු කරයි.

INSEE සිමෙන්ති සමාගම 1999 වසරේ සිට ක්‍රියාත්මක කරන මෙම කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අමතරව, 2018 වසරේ සිට IUCN ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් ‘ආධාරක පාරිසරික ප්‍රතිජනන වැඩසටහනක්’ ද අඛණ්ඩව පවත්වාගෙන එයි.

වර්තමාන ගෝලීය වසංගත තත්ත්වය මධ්‍යයේ වුව ද මෙම වැඩසටහන් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින අතර, ඒ අනුව වනාන්තර තුළ පැල 15,000 ක් සිටුවීමට මෙන් ම එම වනාන්තර තුළ ලැව් ගිනි ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා ස්ථානීය තවානක් ආරම්භ කිරීම මගින් ගිනි ආරක්‍ෂක පටලයක් ස්ථාපිත කිරීමට ද INSEE සිමෙන්ති සමාගම කටයුතු කර ඇත.

වර්තමානයේ දී සාගර කලාපයන් මුහුණ පා ඇති පාරිසරික බලපෑම් කෙරෙහි සංවේදී වෙමින් INSEE සිමෙන්ති සමාගම උණවටුන කොරල් පර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇති අතර, එහි දී කොරල් නිධිය ශක්තිමත් කිරීමට සහ ව්‍යාප්තිය වර්ධනය කිරීම සඳහා කෘත්‍රීම ව්‍යුහයන් හඳුන්වා දී තිබේ. 2009 දී ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය නිසා අවම වශයෙන් නව කොරල් ජනපද 25 ක් පමණ ස්වාභාවික ලෙස ස්ථාපිත කිරීමට හැකි වී ඇත.

මෙම ව්‍යාපෘති සඳහා INSEE සිමෙන්ති සමාගම ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංවිධානය, රොටරැක්ට් සමාජය, මොරටුව විශ්ව විද්‍යාලය, හබරාදූව කාර්මික විද්‍යාලය, IUCN ආයතනය මෙන් ම මෙරට පරිසරවේදීන් සහ ස්වේච්ඡා සේවකයන්ද සම්බන්ධව සිටියි.

Visits: 39