Ex-Pack සමාගම කාබන් ශුන්‍යකරණ හා LEED සහතිකයක් සඳහා co-energi සමඟ එකඟතාවකට

මෙරට තුළ රැළි ගැන්වූ (corrugated) කාඩ්බෝඩ් ඇසුරුම් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Expack Corrugated Cartons සමාගම, තම ව්‍යාපාර මෙහෙයුම් හරහා පරිසරයට සිදුවන බලපෑම අවම කිරීම හා වළක්වාලීම අරමුණු කරගනිමින් පසුගියදා co-energi සමාගම සමඟ විශේෂ සහයෝගීතාවකට මුලපිරූ බව පවසයි.

දේශීය වෙළඳපොළ මෙන්ම අපනයන වෙළඳපොළ වෙනුවෙන් ද ආරක්ෂිත කාඩ්බෝඩ් ඇසුරුම් නිෂ්පාදනය කරන Expack Corrugated Cartons සමාගම යනු ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමට අනුබද්ධ ආයතනයකි.

ඒ අනුව, තිරසාර හා කාර්යක්ෂම සම්පත් භාවිතයට අදාළ සැලසුම් නිර්මාණයේ විශේෂඥතාවයෙන් හෙබි ස්වාධීන ආයතනයක් වන co-energi සමඟ සහයෝගීතාවයෙන්, අධි පාරිසරික සංවේදීතාවක් සහිත, නවෝත්පාදන හා නීත්‍යානුකූල ප්‍රවේශයක් මගින් තිරසාරබව ළඟාකරගැනීමට Expack සමාගමට අවස්ථාව උදා වනු ඇත.

දැවැන්ත යන්ත්‍ර සූත්‍ර භාවිත කෙරෙන නිෂ්පාදන කර්මාන්තයක නිරතවීමේදී එහි පාරිසරික බලපෑම පාලනය කිරීම යනු බලවත් අභියෝගයකි. කෙසේ නමුත්, තිරසාරබව මෙන්ම ව්‍යාපාර මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා ඇති අඛණ්ඩ කැපවීම හේතුවෙන්, බලශක්ති සංරක්ෂණ වැඩසටහන් කිහිපයක්ම සාර්ථකව ක්‍රියාවට නැංවීමටත්, ඒ හරහා පරිසරයට ඇති බලපෑම මඟහරවා ගැනීමටත් Expack සමාගම සමත්ව තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Expack සභාපති සත්තාර් කාසිම් මහතා ප්‍රකාශ කළේ දේශගුණ විපර්යාස වලට එරෙහි හා ජෛව විවිධත්වය රැකගැනීමේ සටනට සිය දායකත්වය ලබාදෙන වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි සිය කර්මාන්තශාලාව වෙත කාබන් ශූන්‍යකරණ හා LEED සහතිකය ලබාගැනීමට අදාළ කටයුතු ආරම්භ කර ඇති බව ය. 2022 වසර වනවිට කාබන් ශූන්‍යකරණ මට්ටම ළඟා කරගැනීම Expack සමාගමේ ඉලක්කය වී තිබේ.

සුහුරු සැලසුම් (SMART DESIGN) සංකල්පය පෙරදැරි කරගත් ගොඩනැගිලි ඉංජිනේරු උපදේශන ආයතනයක් වන co-energi සමාගම, හරිත ගොඩනනැගිලි තාක්ෂණ, MEP සැලසුම් උපදේශන සහ කාබන් ශූන්‍යකරණ උපදේශන ආදී සේවා සලසයි.

අධි කාර්යක්ෂමතා වායුසමීකරණ පද්ධති, ගොඩනැගිලිවල වහලයේ සවි කෙරෙන සූර්ය පැනල සැලසුම්, බලශක්ති විගණන, MEP සැලසුම් හා retro fittings ආදී සැලසුම් සේවාවන්හි දශකයකට වැඩි අත්දැකීම් සහිත co-energi සමාගම, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය තුළ LEED සහතික 12කට වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට දායක වී ඇත.

බලශක්ති හා පාරිසරික සැලසුම්කරණයේ නායකත්ව (Leadership in Energy and Environmental Design – LEED) සහතිකය යනු අමෙරිකානු හරිත ගොඩනැගිලි පර්ෂදය මගින් නිකුත් කෙරෙන ලොව ප්‍රමුඛතම හරිත ගොඩනැගිලි සහතිකය යි. එමගින් ස්වභාවික පරිසරයට මෙන්ම සේවකයින්ගේ සෞඛ්‍යයට ද ඇති හානිය අවම කරවමින්, සහ අඛණ්ඩව ඉහළ සම්පත් කාර්යක්ෂමතාවක් ළඟා කරගනිමින්, පාරිසරික වගවීමකින් යුතු ව්‍යාපාර ආකෘති හා මෙහෙයුම් නිර්මාණය කරගැනීමට හැකියාව ලැබේ. 

Visits: 183