ලොව පුරා නායකයන්, දේශපාලනඥයන් සහ ධනවතුන් සැඟවූ මුදල් හෙළිදරව් කරන පැන්ඩොරා පේපර්ස් එළිදකී

ලොව රජවරුන්, රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, සුප්‍රසිද්ධ චරිත මෙන්ම ධනවතුන් සැඟවූ සිය වත්කම් පිළිබඳව එතෙක් මෙතෙක් සිදු කෙරුණු දැවැන්තම හෙළිදරව් කිරිම සිදු කිරීමට ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර කොන්සෝර්ටියම (ICIJ – International Consortium of Investigative) ඊයේ (03දා) පියවර ගෙන තිබේ.

මෙම හෙළිදරව්ව ඔවුන් ‘පැන්ඩෝරා පේපර්ස් (Pandora Papers)‘ නමින් නම් කර ඇත. තොරතුරු වාර්තා අනුව මෙලෙස සිය වත්කම් සැඟවූ පුද්ගලයන් 700කට අධික සංඛ්‍යාවකගේ තොරතුරු මෙහිදී අනාවරණය කර ගෙන තිබේ. ඒ අතර වත්මන් සහ හිටපු රාජ්‍ය නායකයන් 35 දෙනෙකු සහ රාජ්‍ය නිලධාරීන් 300 දෙනෙකුට අධික පිරිසක් සිටින බව සඳහන් වෙයි.

මීට පෙර මෙලෙස සියවත්කම් සැඟවූ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කෙරුණු Fincen Files, The Paradise Papers, the Panama Papers සහ LuxLeaks යන වාර්තාවන්ට වඩා වැඩි තොරතුරු සහ දත්ත ප්‍රමාණයක් මෙම පැන්ඩෝරා පේපර්ස් සතුව ඇතැයි පැවසෙයි.

ICIJ සඳහන් කරන ආකාරයට මෙහිදී ඔවුන් වෙත තොරතුරු ප්‍රභවයන් (ලොව පුරා මූල්‍ය සමාගම්) 14ක් ඔස්සේ තොරතුරු ලැබී තිබේ. ඒ අනුව රැස් කරගෙන ඇති සමස්ත තොරතුරු ගොනු ප්‍රමාණය මිලියන 12කට (11,903,676ක්) ආසන්න වෙයි. මෙම තොරතුරුවල විශාලත්වය ටෙරාබයිට් 2.94ක් වන බවත් පැවසෙයි.

මෙම අනාවරණය මීට පෙර ලොව පුරා වඩාත් කතාබහට ලක් වූ පැනමා පේපර්ස් නම් ආනාවරණය හා සසඳා බැලීමේදී වඩාත් සුවිශේෂී අවස්ථාවක් බවත් ICIJ පවසයි. 2016 වසරේදී සිදුවුණු මෙම පැනමා පේපර්ස් අනාවරණයේදී තොරතුරු ගොනු මිලියන 11.5ක් ඇතුළත් වූ අතර, එම දත්තවල විශාලත්වය ටෙරාබයිට් 2.6ක් විය.

මෙලෙස සිය වත්කම් සැඟවූ ලොව රාජ්‍ය නායකයන් සහ දේශපාලනඥයන් අතර ජෝර්දානයේ අබ්දුල්ලා රජු, චෙක් ජනරජයේ අගමැති අන්දෙජ් බාබිස්, ගැබොන් ජනාධිපති අලි බොන්ගෝ, කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යට්ටා, කොංගෝ ජනාධිපති ඩෙනිස් සසුයු න්ගුස්සෝ, අයිවරි කෝස්ට්හි අගමැති පැට්‍රික් ආචි, ලෙබනන අගමැති නජිබ් මිකාටි, එක්සත් අරාබි එමීරයේ අගමැති මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටොයුම්, ඩොමිනික් ජනරජයේ ජනාධිපති ලුයිස් අබිනාඩෙර්, ඉක්වදෝර ජනාධිපති ගුයිලෙර්මෝ ලාසෝ, මොන්ටෙනීග්‍රෝ ජනාධිපති මිලෝ ජුකොනොවික්, යුක්රේන ජනාධිපති වොලොදාමිර් සෙලෙන්ස්කි, කටාරයේ එමීර් ෂෙයික් ටමීම් බින් අහමඩ් අල් තානි, චැඩ් තානාපති සකාරියා ඉද්‍රිස් ඩෙබි ඉට්නෝ සහ රුසියානු ජනාධිපතිගේ ඇතුළු කවයේ සිටින සමීපතම සාමාජිකයන් පිරිසක් මෙන්ම හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් ඇතුළුව හිටපු ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් කිහිප දෙනෙකුම වෙයි.

මීට අමතරව ඉන්දියාවේ බොහෝ පිරිසක්ද පාකිස්තානයේ රාජ්‍ය නිලධාරීන් හමුදා නිලධාරීන් විශාල ප්‍රමාණයක්ද මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටියි.

මෙම පිරිස් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් විවිධ බදු සහන පවතින අක්වෙරළ මූල්‍ය සමාගම් තුළ මුදල් තැන්පත් කිරීම්, ලොව සුප්‍රසිද්ධ නගරවල දේපළ මිලදී ගැනීම් යනාදිය සිදු කර තිබෙන බව මෙහිදී අනාවරණය කෙරී ඇත.

උදාහරණයක් ලෙස ජෝර්දානයේ අබ්දුල්ලා රජු සතුව පවුම් මිලියන 70ක් වටිනාකමින් යුත් දේපළ එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ පවතින බව පැවසෙයි. එසේම චෙක් ජනරජයේ අගමැති සතුව දකුණු දිග ප්‍රංශයේ  පිහිටි පවුම් මිලියන 12ක් වටිනා විලා දෙකක් ඇතැයි සඳහන් වෙයි. අසර්බයිජානයේ ජනාධිපති ඉල්හාම් අලියෙව් සතුව එක්සත් රාජධානිය තුළ පවුම් මිලියන 400කට වඩා වඩිනා වත්කම් ඇතැයි පැවසෙයි. මීට අමතරව කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යට්ටා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් 6 දෙනෙකු විසින් රහසිගතව අක්වෙරල සමාගම් ජාලයක් පවත්වාගෙන යනබවත්, ඒවාද ඩොලර් මිලියන 30ක් බැගින් වටිනාම සමාගම් 11ක් වෙත සම්බන්ධව පවතින බවත් අනාවරණයවී ඇත. එසේම බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ ලන්ඩන් නුවර කාර්යාලයක්මිලදී ගනිද්දී රජයට අය වියයුතු පවුම් 312,000ක මුද්දර ගාස්තු ගෙවීමක් මඟහැර ඇතැයිද මෙම අනාවරණයේ ඇතුළත්ව තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂගේ නමද මෙම පැන්ඩෝරා පේපර්ස් හි ඇතුළත්ව තිබේ. එහිදී ඇය වත්මන් පාලක පවුලේ සාමාජිකාවක ලෙසද හඳුන්වාදී ඇත. ඇයට අමතරව ඇගේ ස්වාමියා වන තිරුකුමාර් නඩේසන්ගේ නමද මෙම ලැයිස්තුවේ ඇතුළත්ව තිබේ.

මෙලෙස ලොව පුද්ගලයන් සිය වත්කම් සැඟවීමට උත්සාහ කිරීම කිසි ලෙසකින්වත් මඟහැර යා නොහැකි තත්ත්වයක් බව ICIJ පවසයි. විශේෂයෙන්ම යම් රට පුද්ගලයෙකු සඟවන මෙම වත්කම් එම රටෙහි  දරුවෙකුට අධ්‍යාපනය ලබා ගැනීමට, සෞඛ්‍ය පහසුකමක් ලබා ගැනීමට හෝ වෙනත් සුභසාධන කටයුත්තක් සඳහා යෙදවිය හැකිව තිබූ මුදලක් බව ඔවුන් පෙන්වා දෙයි.

Visits: 554