“ගුවන්තොටුපොළ PCR පරීක්ෂණවලට අපවද සම්බන්ධ කරගන්න” – පෞද්ගලික රෝහල් රජයෙන් ඉල්ලයි

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන මගීන් සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී (BIA) PCR පරීක්ෂණ සිදු කිරීමට මෑතකදී පහසුකම් ආරම්භ කිරීම පිළිබඳව රජයට සුබ පතන අතරම, ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් PCR පරීක්ෂණ කිරීම සඳහා පවතින පහසුකම් හා හැකියාව සැලකිල්ලට ගෙන එම කටයුතු සඳහා දේශීය හවුල්කරුවන් ද සම්බන්ධ කර ගැනීම පිළිබඳව සලකා බලන ලෙස පෞද්ගලික රෝහල් රජයෙන් ඉල්ලා සිටියි.

මෙම රෝහල් නියෝජනය කරන පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය (APHNH) නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටියි. මෙරට සිදු කරන PCR පරීක්ෂණ සහ ඊට අදාල යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා පෞද්ගලික අංශය දැනටමත් සැලකිය යුතු ආයෝඡන සිදු කර ඇති බවත් එම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ලිපියක් යොමු කරමින් APHNH හි ලේකම් වෛද්‍ය සුනිල් රත්නප‍්‍රිය මහතා සඳහන් කර සිටින්නේ රටේ සමස්ත PCR පරීක්ෂණවලින් දළ වශයෙන් 60% ක් මෙන්ම සංචාරක කර්මාන්තය, ආයෝජන මණ්ඩලය (BOI) හා හෝටල්වල ඇති නිරෝධායන මධ්‍යස්ථානවල සියලූම PCR අවශ්‍යතා පෞද්ගලික අංශයේ රසායනාගාර මගින් සිදු කරමින් සිටින බවයි. මෙම PCR පරීක්ෂණවල ප‍්‍රතිඵල පැය 24-36 තුළ නිකුත් කරන බව ද ඔහු සඳහන් කර තිබේ.

‘‘වසංගතය ආරම්භයේදී රජය සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කළ යුතු බව අවබෝධ කරගැනීමෙන් පසු එයට ප‍්‍රතිචාර වශයෙන් වෛද්‍ය උපකරණ සහ යටිතල පහසුකම් සඳහා අපගේ සාමාජික රෝහල් ආයෝජනය කරනු ලැබුවා. කෙසේ වෙතත්, BIA හි ස්ථාපිත කළ රසායනාගාරය සඳහා රජය විදේශීය සමාගමක් සමඟ ඇති කරගත් හවුල්කාරීත්වය අපව පුදුමයට පත් කළා. පසුගිය වසර දෙක තුළ අපගේ සාමාජික රෝහල් විසින් ලබා දුන් ඉමහත් දායකත්වය හා පවත්වා ගෙන ආ ජාත්‍යන්තර මට්ටම් සැලකිල්ලට ගෙන මෙම කාර්යයේදී ද සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සිටින දේශීය ආයෝජකයින්ටද ප‍්‍රමුඛත්වය ලබා දී ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම පිළිබඳව සලකා බලන ලෙස රජයෙන් අප නිහතමානීව ඉල්ලා සිටිනවා.” යනුවෙන් APHNH හි ලේකම් වෛද්‍ය සුනිල් රත්නප‍්‍රිය මහතා සඳහන් කර සිටී.

ප‍්‍රාදේශීය මට්ටමින් PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා අමතර පෞද්ගලික රසායනාගාර ආරම්භ කිරීමට සංගමයේ සාමාජිකයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ (MOH) අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවක APHNH මෙම ඉල්ලීම සිදු කර තිබේ.

PCR පරීක්ෂණ ආරම්භ කිරීමට සියලූ පහසුකම් සහිත පෞද්ගලික රසායනාගාර ගණනාවක් සූදානම්ව සිටින බැවින් නව රසායනාගාර අනුමත කිරීමේ අමාත්‍යාංශයේ ක‍්‍රියා පටිපාටිය කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

‘‘අපගේ ඉල්ලීම සලකා බලා ඉහත සඳහන් කළ වැදගත් කාර්යභාරයේ පාර්ශවකරුවකු වීමට පෞද්ගලික සෞඛ්‍ය අංශයටද ආරාධනා කිරීමට රජය පියවර ගනු ඇතැයි අප අවංකවම බලාපොරොත්තු වන්නෙමු.” යනුවෙන් වෛද්‍ය රත්නප‍්‍රිය මහතා මෙහිදී අවසාන වශයෙන් පවසා තිබේ.

Visits: 122