විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරට තුළ ආයෝජනයට දිරිමත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුවෙන් ඊ-වැඩමුළු මාලාවක්

විදේශයන්හි ජීවත්වන ශ‍්‍රී ලාංකිකයින් මෙරට ආයෝජනය කිරීම දිරිමත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් වැඩසටහන් මාලාවක් දියත් කර ඇතැයි පවසයි.

මේ අනුව, බැංකුව විසින් විදේශවල ජීවත්වන හෝ රැකියා කරන ශ‍්‍රී ලාංකිකයින්ට මෙරට තිබෙන ආයෝජන අවස්ථාවන් සහ ශ‍්‍රී ලංකාවට විදේශීය මුදල් එවීමට කොමර්ෂල් බැංකුව විසින් ලබාදී තිබෙන විවිධ විශේෂ සේවා පිළිබඳව දැනුවත් කිරීමට ඊ-වැඩමුළු මාලාවක් මෑතකදී ආරම්භ කරන ලදී. එසේම, කොවිඞ්-19 වසංගත තත්ත්වය සමග ශ‍්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ආර්ථික අවස්ථාවන් පිළිබඳව විදේශයන්හි ජීවත්වන ප‍්‍රජාව සමග බුද්ධිමත් සංවාදයක් ඇතිකර ගැනීමට මෙම වැඩමුළු තෝතැන්නක් වී තිබෙන බව බැංකුව සඳහන් කරයි. 

බැංකුව විසින් අන්තර්ජාලය ඔස්සේ මෙවැනි වැඩමුළු දෙකක් මේ වනවිටත් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සහ කුවේට් හි සිටින ශ‍්‍රී ලාංකික සේවකයින් සහ වෘත්තිකයින් වෙනුවෙන් පවත්වා තිබෙන අතර තවත් එවැනිම ඊ-වැඩමුළු දෙකක්  ඕමානයේ සහ කටාර් රාජ්‍යයේ සිටින ශ‍්‍රී ලාංකිකයින් වෙනුවෙන් ළඟදීම පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම ඊ-වැඩමුළු – භාණ්ඩාගාර කටයුතු කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ප‍්‍රින්ස් පෙරේරා මහතා විසින් පැවැත්වූ අතර බැංකුවේ විදේශීය පේ‍්‍රෂණ පාර්ශවකරුවන්, ශ‍්‍රී ලංකා තානාපති සේවයේ කාර්ය මණ්ඩල, බැංකුවේ විදේශීය ව්‍යාපාරික ප‍්‍රවර්ධන නිළධාරීන් සහ බැංකුවේ ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයින් මේ සඳහා එක්වී තිබුණි.

මෙහිදී, දත්ත සමග ශ‍්‍රී ලාංකේය ආර්ථිකය පිළිබඳව පුළුල් අදහසක් ඉදිරිපත් කළ අතර ශ‍්‍රී ලංකාවට විදේශීය සෘජු ආයෝජන රැගෙන ඒම මෙහිදී දිරිමත් කරන ලදී. මීට අමතරව, බැංකුව සඳහන් කරන්නේ මේ තුළින් බැංකුවේ සියළුම පාර්ශවකරුවන් සමග සබඳතා තවදුරටත් ගොඩනගා ගත් බවයි.

මේ සඳහා සහභාගී වූවන්ට ශ‍්‍රී ලංකාව තුළ තිබෙන ඉහළ ආදායම් සහිත ආයෝජන අවස්ථාවන් සහ කොමර්ෂල් බැංකුව විසින් ආයෝජකයින්ට සහ පාරිභෝගිකයින්ට ලබාදෙන විශේෂ ප‍්‍රතිලාභ පිළිබඳව දැනුවත් කරන ලදී.

මීට අමතරව, කොමර්ෂල් බැංකුව විසින් ලබාදෙන විශේෂ තැන්පතු ගිණුම් සහ අනිකුත් පේ‍්‍රෂණ ගිණුම් පිළිබඳව තොරතුරුද මෙහිදී ලබාදීම සිදුකෙරුණි. මෙම වැඩමුළු මගින් විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින්ට සහ ආයෝජකයින්ට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ඉතාමත් වැදගත් බුද්ධිමය තොරතුරු ලබාදුන් අතර මුදල් ආයෝජනය කළ හැකි විදේශ මුදල් ගිණුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ අවබෝධයක්ද මෙහිදී ලබාදෙන ලදී.    

මෙම ඊ-වැඩමුළු පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අපගේ විදේශීය පාර්ශවකරුවන් සහ විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් සම්බන්ධ කරගෙන මෙම ඊ-වැඩමුළු අපි සංවිධානය කරන්නේ ශ‍්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග ජයගැනීමට බැංකු විසින් විදේශීය මුදල් ගෙන්වා ගැනීමට විශාල උත්සායක නිරතවී සිටින පසුබිමකයි. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව ලෙස අපි ලබාගෙන තිබෙන විශ්වාසය හමුවේ මෙම උත්සාහයට කැපී පෙනෙන දායකත්වයක් ලබාදිය හැකියැයි අපි විශ්වාස කරනවා.’ 

මේ අනුව, ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින්ට අවශ්‍ය පේ‍්‍රෂණ ආයෝජන ගිණුම්, අක්වෙරළ ගිණුම් සහ මෙම ගිණුම් වලට අවශ්‍ය සියලූම සහාය සේවා ලබාදෙමින් කොමර්ෂල් බැංකුව විසින් විදෙස්ගත ආයෝජකයින්ට අවශ්‍ය සියළුම පහසුකම් ලබාදීමට කටයුතු කර ඇත.

Visits: 214