කාන්තා කළමනාකරණ ආයතනය, IFC හා එක්වී විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල දියත් කරයි

කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ඕස්ට්‍රේලියානු රජය එක්වී 11 වන වරටත්විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල(Professional and Career Women Awards) වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර ඇතැයි පවසයි.

මේ යටතේ විවිධ වෘත්තීන් හා ව්‍යාපාර ක්ෂේත්‍රයන් ජයගත් කාන්තාවන් 50 දෙනෙකු නම්කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම 2021 සැප්තැම්බර් මස 28 දින ආරම්භ විය. ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC)මෙම වැඩසටහනට දායක වන 7 වන වසරඅතර, ඕස්ට්‍රේලියානු රජය හා එක්ව (IFC-DFAT Women in Work වැඩසටහන යටතේ) පවත්වන 4 වන වසර මෙයයි.

විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙලදශකයකට අධික කාලයක් තුළ මෙරට බැංකු හා මූල්‍ය, සත්කාරක සේවා, ජනමාධ්‍ය, නීති, කාර්ය සම්පාදන සහ සැපයුම් දාම ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් ජයගත් කාන්තාවන් 470 කට අධික පිරිසක් ඇගයීමට ලක්කර තිබේ.

“වසංගත රෝග තත්ත්වයක් ලොව පුරා පැවතියදී පවා තම හැකියාවන් ඔස්සේ විවිධ වෘත්තීය හා ව්‍යාපාර ක්ෂේත්‍ර වල කැපීපෙනෙන ජයග්‍රහණයන් වාර්තා කළ කාන්තාවන් ඇගයීමට ලක්කිරීමට මෙවරත් අප කටයුතු යොදා තිබෙනවා. පසුගිය වසර 10 ක කාලය තුළ මෙම සම්මාන ඔස්සේ ශ්‍රී ලංකාව, කාන්තා නායකත්වය හුදෙක් සමාජභාව නියෝජනයක් ලෙස නොව, රටේ ආර්ථික වර්ධනය සහ සමාජයීය අන්තර්කරණය සම්බන්ධයෙන් වැදගත් භූමිකාවක් ඉටුකරන සාධකයක් ලෙස වටහාගෙන හා පිළිගෙන තිබෙන බව පැහැදිලියි.” කාන්තා කළමනාකරණ ආයතනය සංවිධානයේ නිර්මාතෘ/සභාපති ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය පැවසුවා ය.

ස්ත්‍රී පුරුෂ සමාජයීය තත්ත්වයන් සම්බන්ධයෙන් ලොව පුරා අත්පත් කරගෙන තිබූ ප්‍රගතිය COVID-19 හේතුවෙන් සැලකිය යුතු පසුබෑමකට ලක්වුවද, එය ශක්තිමත් හා ස්ථාවර ව්‍යාපාරික නායකත්වයක වැදගත්කම අපට මැනැවින් පෙන්වා දී තිබේ. සමාගම් හා ආයතන මෙම අර්බුදය වඩාත් ශක්තිමත් ලෙස ජයගැනීමට උත්සාහ දරමින් සිටින අතරතුර, ආයතනික අවකාශයන් තුළ වඩාත් අන්තර්කරණය වූ, ඵලදායී සහ ලාභදායී වර්ධනයක් සාක්ෂාත් කරගැනීම සඳහා කාන්තා නායකත්වය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම වැඩි වැඩියෙන් පිළිගැනීමට ලක්වෙමින් පවතී.

“විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙලයනු ශ්‍රී ලංකාවේ සැඟවුණු කුසලතා කරළියට ගෙන එන වැඩසටහනක් ලෙස හැඳින්විය හැකියි. පසුගිය වසර කිහිපය තුළ, සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවා නොබියව තම චින්තනය මෙහෙයවූ විශිෂ්ට කාන්තාවන් රාශියක් මෙම සම්මාන ඔස්සේ ඇගයීමට ලක්වූවා. ශ්‍රී ලංකාව තුළ වඩාත් අන්තර්කරණය වූ සහ විවිධත්වයෙන් සපිරි ආර්ථිකයක් නිර්මාණය කිරීමට නම් මෙම සාධකය අත්‍යවශ්‍යයි. ගෝලීය වසංගත තත්ත්වය සමග තවත් අනපේක්ෂිත අභියෝග සහිත වසරක් පසුකිරීමට අපට සිදුවී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් හමුවේ අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දෙමින්, වඩාත් යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් කැපවුණු ආකාරය මේ ඔස්සේ අපට දැකගැනීමට හැකිවේවි.” Women in Work, IFC හි වැඩසටහන් කළමනාකාරිනී සේරා ට්විග් මහත්මිය පැවසුවා ය.

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව වසර 50 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ විවිධ ව්‍යපෘති ක්‍රියාත්මක කර ඇති අතර, කාන්තාකළමනාකරණආයතනයදීර්ඝකාලයක් තිස්සේ එහි හවුල්කරුවෙකු ලෙස කටයුතු කරයි.  එම දෙපාර්ශ්වය මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ සහ මධ්‍යම කළමනාකරණ මට්ටම් වල කාන්තාවන්ට මෙන්ම, මෙරට ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාර මෙහෙවයන සහ එම ව්‍යාපාර වල සේවය කරන කාන්තාවන්ට පුහුණු හා කුසලතා සංවර්ධන අවස්ථාවන් ලබාදීමට කටයුතු කරමින් සිටී. IFC-DFAT Women in Work වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවූ’Top 50′ Professional and Career Women Awards සම්මාන වැඩසටහනද මෙහි එක් අදියරකි.

“ගෝලීය මට්ටමින්, විශේෂයෙන්ම COVID-19 වසංගතය අතරතුර, සම-අවස්ථා ප්‍රවර්ධනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරනවා. ශ්‍රී ලංකාව තුළ IFC සහ Women in Work හවුල්කාරීත්වය සහ, කාන්තාකළමනාකරණආයතනයසමග ඇතිකර ගත් හවුල්කාරීත්වය රටේ කාන්තාවන්ට දියුණුව කරා යාමට වටිනා අවස්ථාවන් ලබාදෙන බව පැහැදිලියි. ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ජයග්‍රහණය ඇගයීම සඳහා අප විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙලටසහයෝගය ලබාදෙන 4 වන අවස්ථාව මෙයයි. ඉහළම පිළිගැනීමක් සහිත වෘත්තිකයන් පිරිසකින් සමන්විත මෙහි විනිශ්චය මණ්ඩලයට දායක වීමට ලැබීම මට මහත් සතුටක්,” ශ්‍රී ලංකාවේ වැඩ බලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අමැන්ඩා ජුවෙල් මහත්මිය පැවසුවා ය.

කැනඩාවේ සහ මාලදිවයිනේද ක්‍රියාත්මක වන විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල, සම්මානලාභී කාන්තාවන්ගේ වෘත්තීය හා ව්‍යාපාරික දියුණුවට උරදෙන අතරම, තවත් කාන්තාවන් රාශියකට එම ආදර්ශය ඔස්සේ, තම ක්ෂේත්‍ර වල ඉදිරියටම යාමට අවශ්‍ය ආදර්ශය සහ ධෛර්යය ලබාදෙයි.

2021 සම්මාන වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ සභාපතිනිය ලෙස  ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමේ නීති, ලේකම් සහ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී නදීජා තම්බයියා මහත්මිය කටයුතු කරන අතර, Hayleys Agriculture Holdings සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා ජයන්ති ධර්මසේන, Dreamron සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කිෂූ ගෝමස්, Daily FT හි නිර්මාතෘ-සංස්කාරක සහ ප්‍රධාන විධායක නිලධාරී නිස්තාර් කාසිම්, Clootrack Sri Lanka/Maldives & Pakistan හි ප්‍රධාන විධායක නිලධාරී රොහන්ත අතුකෝරල, Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන පාරිභෝගික නිලධාරිනී සැන්ඩ්‍රා ද සොයිසා, ක්‍රමෝපායික අලෙවි වෘත්තීයවේදිනී සන්ධ්‍යා සල්ගාදු, KL.LK ප්‍රධාන විධායක නිලධාරී සන්තෝෂ් මෙනන්, ශ්‍රී ලංකාවේ වැඩ බලන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අමැන්ඩා ජුවෙල්, සහ Women in Work, IFC හි වැඩසටහන් කළමනාකාරිනී සේරා ට්විග් යන මහත්ම මහත්මීහු එහි සාමාජික සාමාජිකාවන් ලෙස කටයුතු කරති. 

සම්මාන සඳහා නාමයෝජනා භාරගැනීම 2021 ඔක්තෝබර් 25 දක්වා සිදුවන අතර, www.womeninmanagementawards.org වෙත පිවිසී නාමයෝජනා ඉදිරිපත් කළ හැකි වේ.

Visits: 66