කොටස් මිලියන 16.6ක් සමගින් අර්නිලා තම්බියාහ් DFCC බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත DFCC බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස රේනුකා සිටි හොටෙල්ස් පීඑල්සීහි ඒකාබද්ධ කළමනාකාර අධ්‍යක්ෂිකා අර්නිලා ලක්ෂ්මි තම්බියාහ් පත් කර ඇතැයි එම බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව අද (ඔක්තෝබර් 01 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි ඇය DFCC බැංකුවෙහි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස පත් කෙරී තිබේ. එසේම ඇයගේ පත්වීම මහ බැංකුවෙහි බැංකු සුපරීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් අනුමත කර ඇතැයිද සඳහන් වෙයි.

මෙම පත්වීම සිදු වන අවස්ථාව වනවිට අර්නිලා තම්බයාහ් සතුව DFCC බැංකුවෙහි කොටස් 95,432ක හිමිකාරීත්වයක් පවතී.

DFCC බැංකුවෙහි අධ්‍යක්ෂිකාවක ලෙස  කටයුතු කළ ඇගේ සහෝදරිය වන ෂිබානි තම්බියාහ් මහත්මිය එම ධුරයෙන් පසුගිය සැප්තැම්බර් 27 වැනිදා එම ධුරයෙන් විශ්‍රාම යාමත් සමගින්ම හිස් වූ ධුරය වෙනුවෙන් මෙම නව පත් කිරිම සිදුව තිබේ.

ෂිබානි මහත්මිය බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස වසර නවයක කාලයක් සම්පූර්ණ කරමින් මෙලෙස එම ධුරයෙන් ඉවත්ව ගියාය.

මෙම රේනුකා සිටි හොටෙල්ස් පීඑල්සී සමාගම හිමි තම්බියාහ් පවුලට අයත් තවත් සමාගම් අටක් හරහා DFCC බැංකුවෙහි කොටස් මිලියන 17ක (17,817,022ක) හිමිකාරීත්වයක් පවතී. ෂිබානි තම්බියාහ් මහත්මිය බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කරද්දී එම කොටස් ඇය සතුව පැවති තිබේ.

ඒ අනුව මෙම කොටස් මින් ඉදිරියට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස පත්ව එන ඇගේ සහෝදරිය වන අර්නිලා තම්බියාහ් වෙත හිමි වෙයි.

මෙහිදී ඇය සතු කොටස් 95,432 ට අමතරව රේණුකා හොටෙල්ස් ලිමිටඩ් සතු කොටස් 4,292,082ක්, රේනුකා සිටි හොටෙල්ස් පීඑල්සී සතු කොටස් 7,298,813ක්, රේනුකා කන්සල්ටන්ට්ස් ඇන්ඩ් සර්විසස් ලිමිටඩ් සතු කොටස් 1,156,948ක්, රේනුකා ප්‍රොපර්ටීස් ලිමිටඩ් සතු කොටස් 745,873ක්, ලැන්කෙස්ටර් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සතු කොටස් 68,489ක්, පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් (පෞද්) සමාගම සතු කොටස් 60,321ක්, කාර්ගෝබෝට් ඩිවලොප්මන්ට් කෝපරේෂන් පීඑල්සී සතු කොටස් 2,632,342ක් සහ අමල්ගමේටඩ් තියටර්ස් ලිමිටඩ් සතු කොටස් 319,652ක් ලෙස මෙලෙස  DFCC බැංකුවෙහි කොටස් හිමිකමක් අර්නිලා තම්බියාහ් වෙත හිමිව තිබේ.

කෙසේ වෙතත් ක්‍රෙසන්ට් ලොන්ඩර්ස් ඇන්ඩ් ඩ්‍රයි ක්ලීනර්ස් (පෞද්) සමාගම සතු DFCC කොටස් 1,562,154ක්ද ෂිබානි යටතේ පැවැති අතර අර්නිලා යටතට එම කොටස් පත්වී නැත. ඒ අනුව මෙම පත්වීමත් සමගින්ම ඇය සතුව ඇත්තේ කොටස් මිලියන 16.6ක් (16,669,952ක්) පමණකි.

අර්නිලා තම්බියාහ් එක්සත් රාජධානියේ නොටින්ග්හැම් විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයනය පිළිබඳව උපාධියක් හිමිකර ගෙන තිබේ. එසේම ඇය ජාත්‍යන්තර ව්‍යාපාර සහ කළමනාකරණය පිළිබඳව එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් උසස් උපාධියක්ද හිමි කරගෙන ඇත. මීට පෙර ඇය වසර දෙකහමාරක කාලයක් කීල්ස් හොටෙල් මැනේජ්මන්ට් ආයතනයේ සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි නව ව්‍යාපාර සංවර්ධන සහ සමූහ මුලපිරිම් හි විධායක නිලධාරිනියකලෙස කටයුතු කර ඇත.

ඇය 2008 වසරේ සිට රේනුකා සහ රේනුකා සිටි හොටෙල් සමාගම සමගින් සම්බන්ධව සිටියි. අද වනවිට ඇය රේනුකා හොටෙල් පීඑල්සී සහ රේනුකා සිටි හොටෙල්ස් පීඑල්සී යන සමාගම් දෙකෙහිම ඒකාබද්ධ කළමනාකරණ අධ්‍යක්ෂවරියකලෙස කටයුතු කරයි.

මිට අමතරව ඇය කාර්ගෝ බෝට් ඩිවලොප්මන්ට් කම්පැනි පීඑල්සී, රේනුකා කන්සල්ටන්ට්ස් ඇන්ඩ් සර්විසස් ලිමිටඩ්, රේනුකා ප්‍රොපර්ටීස් ලිමිටඩ්, ලැන්කැස්ටර් හෝල්ඩිංග්ස් ලිමිටඩ්, අමල්ගමේටඩ් තියටර්ස් ලිමිටඩ් සහ පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම්වලද අධක්ෂවරියක ලෙස කටයුතු කරයි.

Visits: 525