EXPO සහ JKH සඳහා වූ ආයෝජක උනන්දුව හත්වැනි දිනටත් වෙළෙඳපොළ ඉහළ නංවයි

අද (සැප්තැම්බර් 30) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පිට පිට 7 වැනි දිනටත් ඉහළ ගැණුම්බරතාවකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී EXPO සහ JKH කොටස් සඳහා ඉහළ මිලදී ගැනීමේ උනන්දුව ඊට හේතු වී තිබේ. විශේෂයෙන්ම අද දිනයේදී JKH සමූහය කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම සඳහා වන එකඟතාවට අත්සන් තැබීම ඊට හේතු විය.

මේ අතර සැප්තැම්බර් මාසයේ අවසන් දිනය වූ අද දිනයේදී ආයෝජකයන් බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි සමාගම තුළ හැර LOLC සමූහයේ අනෙකුත් සමාගම් හරහා ලාභ ඉපැයීමක් කරා යොමු වී තිබුණු බවත් කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.  

ඒ අනුව අද දිනයේදී ඒකක 9,395.16ත් ඒකක 9,510.13ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,459.94ක් බවට පත්විය. එය ඊයේ (සැප්තැම්බර් 29) දිනයට සාපේක්ෂව ඒකක 26.17ක් එනම් +0.28%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, එන්ඩීබී බැංකුව සහ ලංකා ඇලුමිනියම් පීඑල්සීහි සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 12%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 107ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 86ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+26.32), ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+9.62), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (+6.8), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (+3.64), ඒෂියන් හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී AHPL (+2.48), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-20.04), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-9.67), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-3.47), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-2.97), ඇම්බියොන් කැපිටල් පීඑල්සී TAP (-2.93යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,534.82ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 29) ‍ට සාපේක්ෂව ඒකක 30.68ක එනම් +0.88%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.94ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (සැප්තැම්බර් 29) වාර්තා කළ රුපියල් බිලියන 5.96ට සාපේක්ෂව 16.5% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.22ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 42.39%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 50.26ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 577.24ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 526.98කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 44.86ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.83 කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 491.59ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,098ක් සඳහා ප්‍රවාහ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 30%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,542ක සහ රුපියල් මිලියන 1,082ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 198