බටහිර පර්යන්තය ඉදිකිරීමට අදානි, ජෝන්කීල්ස් සහ වරාය අධිකාරිය අතර ගිවිසුම අත්සන් තැබේ

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම සඳහා වන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය (CWIT) ආයෝජන පාර්ශවකාර ඉන්දියාවේ අදානී සමාගම හා ශ්‍රී ලංකා නියෝජිත ජෝන්කීල්ස් සමාගම අතර ගිවිසුම අත්සන් තැබීම අද දින (30) කොළඹ දී සිදුවිය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල හා කළමණාකාර අධ්‍යක්ෂ උපුල් ජයතිස්ස යන මහත්වරුන්ද අදානී පෝර්ට්ස් ඇන්ඩ් ලොජිස්ටික්ස් සමාගම වෙනුවෙන් එහි සභාපති සන්දීප් මෙහෙතා මහතා ද, එම සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත ජෝන්කීල්ස් සමාගම වෙනුවෙන් එහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ද අත්සන් තබා තිබේ.

සූම් මාධ්‍ය ඔස්සේ ඉන්දියාවේ සිට අදානී පෝර්ට්ස් ඇන්ඩ් ලොජිස්ටික්ස් හි සභාපති සන්දීප් මෙහෙතා හා එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කරන් අදානී යන මහත්වරු සහභාගි වූ අතර, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ද සූම් මාධ්‍ය ඔස්සේ ඊට සහභාගි විය.

CWIT හෙවත් “කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය” ඉදි කිරීම ඇමෙරිකානු ඩොලර් මිලියන 700 කට අධික මුදල් ආයෝජනයකි.

එය එදා මෙදා තුර ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ සිදු කරනු ලබන විශාලතම අයෝජනය ලෙස ද මෙය හැඳින්වෙයි.මෙම ගිවිසුම BOT හෙවෙත් ඉදිකොට, මෙහෙයුම්කොට නැවත පවරා දීම යටතේ ක්‍රියාත්මක ගිවිසුමක් වන අතර ගිවිසුම් කාලය වසර 35කි.

මෙම ගිවිසුමට අනුව කොළඹ වරාය බටහිර පර්යන්තයේ කොටස් හිමිකාරීත්වයෙන් 51% ක් අදානි සමාගමටත්, මෙරට නියෝජිත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙත 34% ක් සහ වරාය අධිකාරිය 15% ක් හිමිවනු ඇත.

මෙම පර්යන්තය ඉදිකිරීමත් සමග කොළඹ වරායේ වාර්ෂික බහලු (TEU) මෙහෙයුම මිලියන 03 කින් ඉහළ යනු ඇතැයිද සඳහන් වෙයි.

මේ අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වන වරාය අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා, මෙම ගිවිසුම්ගත වීම හේතුවෙන් ඇතිවන දැවැන්ත සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස කේන්ද්‍රීය ජාත්‍යන්තර වරායක් ලෙස මේ වන විට ගොඩනගාගෙන ඇති කීර්තිය තවදුරටත් වැඩි වන අතර, කලාපීය සහයෝගීතාව ද මේ නිසා ශක්තිමත් වන බව විශ්වාසය බව පවසා සිටියි. එමෙන් ම මෙම ආයෝජනය නිසා වරාය ක්‍ෂේත්‍රය ද රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් වීමද සුවිශේෂී ප්‍රතිලාභයක් ලෙස දැක්විය හැකි බවද ඒ මහතා පවසයි.

මෙම අවස්ථාවට ඉන්දියානු මහකොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ මහතා, වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා ඇතුළු නිළධාරීන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල, උප සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න, කළමණාකාර අධ්‍යක්ෂ උපුල් ජයතිස්ස යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් ද ජෝන්කීල්ස් සමාගමේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සහ එම සමාගමේ නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගි විය.

Visits: 140