ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් ශත 95 බැගින් පළමු අතරමැදි ලාභාංශයක් නිවේදනය කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී (DIPD.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණ කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳව තීරණය ගෙන තිබේ.

ඒ අනුව සමාගම මගින් මේ දක්වා නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම ශත 95ක් බැගින් මෙම ලාභාංශ ගෙවීමට තීරණය වී ඇත.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන ඔක්තෝබර් 22 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත (XD Date) දිනය ලෙස ඔක්තෝබර් 08 වැනිදා නම් කෙරී ඇත.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය සමාගමෙහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොවන බවද ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගම පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගමෙහි කොටසක අගය රුපියල් 58.40ක් විය. එය පෙර දිනයේ අගය වූ රුපියල් 58.10ට සාපේක්ෂව ශත 30ක එනම් 0.52%ක ඉහළ යාමකි.

හේලීස් සමූහයට අයත් ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගම පසුගිය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා පළමු අතරමැදි, දෙවැනි අතරමැදි, තෙවැනි අතරමැදි, සිව්වැනි අතරමැදි සහ අවසන් ලෙස අවස්ථා පහකදී සිය කොටස් හිමිකරුවන් වෙත කොටස් ලාභාංශ ගෙවා තිබේ.

ඒඅනුව පිළීවෙලින් රුපියල් 1.00ක්, රුපියල් 3.00ක්, රුපියල් 9.00ක්, රුපියල් 1.00ක් සහ ශත 60ක් ලෙස මෙම ලාභාංශ ගෙවීම සිදුව ඇත. පසුගිය පෙබරවාරි මාසයේදී සමාගම කොටස් 1 ට 10ක් ලෙස සිදුකළ කොටස් අතුරු බෙදීමත් සමගින්ම මෙලෙස ලාභාංශ ගෙවීම පහත වැටී ඇත. එහිදී එතෙක් පැවැති සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව වූ 59,861,512 මෙම බෙදීමත් සමගින්ම කොටස් 598,615,120ක් බවට ඉහළ යාම සිදුවිය.

Visits: 238