කාබනික කෘෂි පරිවර්තනයට අවැසි නව දැනුම හුවමාරු කරගැනීමට බවර් සමාගම මැදිහත් වෙයි

සෞඛ්‍යමත් හා තිරසාර දේශයක් බිහිකිරීමේ අරමුණින් යුතුව, රසායනික පොහොර සහ වෙනත් කෘෂි රසායනික භාවිතය අත්හැරීමට ශ්‍රී ලංකාව තීරණය කිරීමත් සමඟ, කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ ලොව නවීනතම දැනුම මෙරටට ලබාගැනීමට තීරණය කළ බව බවර් සමාගම පවසයි.

ඒ අනුව මෙරට විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් මෙන්ම, කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ පෙළේ නවෝත්පාදකයෙක් ලෙස ප්‍රකට බවර් සමාගම, ස්විට්සර්ලන්තයේ පිහිටි සුප්‍රකට පර්යේෂණ ආයතන දෙකක් නියෝජනය කරන විශේෂඥ කණ්ඩායමක් ඉකුත් අගෝස්තු මස මුලදී දින 10ක  අධ්‍යයන චාරිකාවක් සඳහා මෙරටට ගෙන්වා ගෙන තිබේ.

මෙම අධ්‍යයන චාරිකාවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ දැනට පවත්නා තත්ත්වය පුළුල් ලෙස අධ්‍යයනය කිරීමත්, කාබනික කෘෂිකර්මාන්තය වෙත ගමන් කිරීමට අවශ්‍ය සාධක පෙළගැස්වීමත් ය. බවර් සමාගමේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන, දේශීය විද්වතුන්, පර්යේෂණ ආයතන, කෘෂිකර්මාන්ත අංශයේ ප්‍රවීණයින් මෙන්ම උසස් රාජ්‍ය නිලධාරීන් ද ඇතුළු කෘෂි ක්ෂේත්‍රය නියෝජනය කරන විවිධ පාර්ශ්වකරුවන්ගේ දැඩි පැසසුමට ලක්විය.

ස්විස් විශේෂඥයෝ  සිය සංචාරය අතරතුරදී කාබනික අපද්‍රව්‍ය මූලාශ්‍ර සහ ඒවා මගින් කාබනික පොහොර නිෂ්පාදනයට ඇති හැකියාව පිළිබඳව වැඩි අවධානයක් යොමුකළහ. එහිදී බෝග කළමනාකරණය හා කොම්පෝස්ට් නිෂ්පාදනය පිළිබඳව දේශීය වශයෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් හා අධ්‍යයන පිළිබඳව ඔවුහු බෙහෙවින් තෘප්තිමත් වූහ.  කෙසේ නමුත්, ඒවා තවමත් පර්යේෂණ මට්ටමේ පවතිින බවත්, මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදනය කරා දිගු ගමනක් යා යුතුව පවතින බවත් ඔවුන්ගේ මතය විය.

ඔවුන්ගේ අවධානයට ලක්වූ තවත් ප්‍රධාන කරුණක් වූයේ ඒ ඒ බෝග ආශ්‍රිතව පැන නඟින සංකීර්ණ ගැටලුකාරී තත්ත්වයන් ය. එනම් කුළුබඩු බෝග සහ රබර් වගාවන් කාබනික පොහොර යෙදූ පාරිසරික තත්ත්වයකට පහසුවෙන් වර්ධනය වුව ද, ඛනිජ පොහොර නොමැති තත්ත්වයකට හැඩගැසීමේ විශාල පසුබෑමක් දක්වන, එනම් ඉහළ නයිට්‍රජන් සංයුතියක් සහිත පොහොර අවශ්‍ය කෙරෙන වී සහ තේ වැනි බෝග සම්බන්ධයෙන් විශාල සැළකිල්ලක් දැක්විය යුතුව තිබේ. රසායනික පොහොර භාවිතය අත්හළ අවස්ථාවකදී නයිට්‍රජන් පොහොර අවශ්‍යතාවය සපුරාගැනීම, කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ මතුවන දැවැන්ත අභියෝගයක් බව ද ස්විස් විශේෂඥයෝ පෙන්වාදුන්හ.

”කාබනික පොහොර අභියෝගය ජයගැනීම සඳහා අතිශය වැදගත් ක්‍රමෝපායික සහයෝගීතාවන් ඔස්සේ විද්‍යාත්මක හා වෘත්තීමය ප්‍රවීණතාව හා දැනුම සපයා ගැනීමෙහිලා විශාල සාර්ථකත්වයක් අත්කරගැනීමට අපට හැකිවී තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ අපට තවත් අලුත් දැනුම ලබාගැනීමට හැකි වේවි. විශේෂඥ කණ්ඩායම පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ කාබනික කෘෂි පරිවර්තනය මැනවින් කළමනාකරණය කරගතහොත්,ඒ හරහා පාරිසරිකව වගේම ආර්ථිකවත් විශාල තිරසාර අවකාශයක් ඉදිරියේදී රට තුළ නිර්මාණය වීම නිසැකයි“, යනුවෙන් බවර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ් බ්ලේසර් මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම එළඹෙන මහ කන්නයේදී මෙරට ගොවීන්ට රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ඉක්මණින් ලබාදීමට කටයුතු කළ යුතුව පවතින බැවින් ඒ සඳහා ගත යුතු පියවර පිළිබඳව ද විශේෂඥයින්ගේ මූලික වාර්තාව මගින් යෝජනා කර තිබේ.

“අපරික්ෂාකාරීව මෙම පරිවර්තනය සිදුකිරීම තුළින් මෙම සමස්ත වැඩපිළිවෙලම අසාර්ථක වීමේ ඉහළ අවදානමක් පවතින බවටත්, ඵලදායී ආකාරයට මෙම කෘෂි පරිවර්තනය සිදුකළ යුතු බවටත් මෙම විශේෂඥයින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම මෙම පරිවර්තන ක්‍රියාවලියේදී ගොවීන්ට වගේම පොහොර නිෂ්පාදකයින්ට ආධාර වන විවිධ පියවර ගණනාවක් මෙම වාර්තාව පෙන්වා දෙනවා. ඒ ඒ බෝග, වගා කරන ප්‍රදේශය හා පවත්නා තත්ත්වය වැනි කාරණා මත පදනම්ව ගොවීන්ට විශේෂ පුහුණුවක් ලබාදීම හා දැනුම හුවමාරු කරගැනීම එහිදී ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම කාලයෙන් කාලයට ප්‍රතිපත්ති සහ නීතිමය තත්ත්වයන් වෙනස් කිරීමකින් තොරව ගොවීන්ට පැහැදිලි මඟ පෙන්වීමක් සහ ආධාර අනුබල ලබාදීමක් සිදුවිය යුතු බවත් මෙම වාර්තාව මගින් විශේෂයෙන් අවධාරණය කර තිබෙනවා“, යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බවර් සමාගමේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ හා අධ්‍යක්ෂ-කෘෂිකර්ම ජානක ගුණසේකර මහතා පැවසීය.

Visits: 76