මාස පහකට පසුව ඉහළ ගිය JKH වටිනාකමත් දර්ශක අගයන් ඉහළ නැංවීමට දායක වෙයි

අද (සැප්තැම්බර් 29) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පිට පිට 6 වැනි දිනටත් ඉහළ ගැණුම්බරතාවකින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී විශේෂයෙන්ම LOLC සමූහයේ සමාගම් තුළ සිදු වුණු කොටස් වටිනාකම් ඉහළ යාම් ඊට හේතුව වී තිබේ. එසේම මාස පහකට පසුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස්හි සිදු වූ ‍වටිනාකම් ඉහළ යාමද අද දිනයේදී දර්ශක අගයන් ඉහළ යාමට දායක වූ බවද එම සමාගම් සඳහන් කරයි.  

ඒ අනුව අද දිනයේදී ඒකක 9,327.16ත් ඒකක 9,447.62ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,433.77ක් බවට පත්විය. එය ඊයේ (සැප්තැම්බර් 28) දිනයට සාපේක්ෂව ඒකක 94.49ක් එනම් +1.01%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ ටීජේ ලංකාහි සිදු වූ සිදුවූ ගනුදෙනු පිරිවැටුමෙන් 5.4%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 119ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 79ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+40.25), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+22.57), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+22.21), සෙලින්කෝ ඉන්ෂුවුන්ස් පීඑල්සී CINS (+6.81), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+4.71), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-21.47), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-7.68), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-4.14), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-3.53), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-2.41යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,504.14ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 28) ‍ට සාපේක්ෂව ඒකක 60.08ක එනම් +1.74%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.96ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (සැප්තැම්බර් 28) වාර්තා කළ රුපියල් බිලියන 6.66ට සාපේක්ෂව 10.5% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.2ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 41.99%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 17.02ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 41.52ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 24.5කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 44.32ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 4.5 කි. එසේම එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 6.64ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,647ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 28%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ප්‍රවාහන අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,422ක සහ රුපියල් මිලියන 1,180ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 292