ඉෂාරගේ සභාපතිත්වයෙන් එන LOLC සමූහයේ අලුත්ම සාමාජිකයා LOLC සිලෝන් හෝල්ඩිංග්ස් ලිමිටඩ්

මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන LOLC සමූහයේ අලුත්ම සාමාජිකයා වන LOLC Ceylon Holdings Limited (LOCH) ලබන සැප්තැම්බර් 29 වැනිදා රුපියල් බිලියනයක් වටිනා ණයකර කොටස් නිකුතුවක් සඳහා සූදානමින් සිටින බව පසුගියදා අනාවරණය කෙරිණි.

රුපියල් 100ක වටිනාකමින් යුත් ණයකර කොටස් මිලියන 10ක් (10,000,000ක්) මෙහිදී මිලදී ගැනීම සඳහා නිකුත් කෙරෙන බව සමාගම සඳහන් කර තිබේ. මෙහිදී එය ජ්‍යෙෂ්ඨ, ලැයිස්තුගත, පිරිමුදවාගත හැකි, වර්ග කෙරුණු, ඇපවුණු ණයකරයක් ලෙස මෙය නිකුත් කරන බව සමාගම පවසයි.

වසර දෙකක කාලයකින් (2021/2023) කල්පිරෙන ලෙස නිකුත් කෙරෙන මෙම ණයකර නිකුතුව සඳහා ලබා දෙන වාර්ෂික පොලිය 9.50%කි. මෙහිදී එක් ඉල්ලුම්පත්‍රයක් හරහා අවමව ණයකර 100ක් (වටිනාකම රුපියල් 10,000ක) මිලදී ගත යුතු බවත් පැවසෙයි.

මෙම නිකුතුවේ කළමනාකරුවන් ලෙස කැපිටල් එලායන්ස් පාර්ට්නර්ස් ලිමිටඩ් සමාගම කටයුතු කරයි. එහි බැංකුකරුවන් ලෙස NDB බැංකුව පත් කර තිබේ. එසේම මෙම නිකුතුවේ වර්ගීකරණ ආයතනය ලෙස ICRA Lanka Limited ක්‍රියා කරයි.

ලබන සැප්තැම්බර් 29 වැනිදා මෙම නිකුත්ව මිලදී ගැනීම් සහා විවෘත කිරීමෙන් අනතුරුව ලබන ඔක්තෝබර් 18 වැනිදා දක්වා ඒ සහා අවස්ථාව පවතින බව LOLC Ceylon Holdings Limited පවසයි. ඒ අනුව උපරිමව ශ්‍රී ලාංකික රුපියල් බිලියනයක් සම්පූර්ණ වූ විට එය සම්පූර්ණ ඉල්ලුමක් සහිත ණයකර නිකුතුවක්  ලෙස ප්‍රකාශයට පත් කරන බවත් සමාගම සඳහන් කරයි.

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙම LOLC Ceylon Holdings Limited සමාගම පිහිටවුණේ 2018 වසරේ මාර්තු 28 වැනිදාය. එය ලියාපදිංචි අංක PB 00234078 යටතේ සමාගමක් ලෙස ලියාපදිංචි කර තිබේ. එහි ලියාපදිංචි ලිපිනය වන්නේ අංක 100/1 ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරියයි.

මෙම නව LOLC Ceylon Holdings Limited සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන්නේ ඉෂාර නානායක්කාර (විධායක නොවන – ස්වාධීන නොවන අධ්‍යක්ෂ/සභාපති), කේ.ඒ.කේ.පී. ගුණවර්ධන (විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ), ටී. සානාකන් (විධායක නොවන – ස්වාධීන අධ්‍යක්ෂ), ආචාර්ය. ජේ.එම්. ස්වාමිනාදන් (විධායක නොවන – ස්වාධීන අධ්‍යක්ෂ), ඩබ්ලිව්.ආර්.ඒ. ධර්මරත්න ((විධායක නොවන – ස්වාධීන අධ්‍යක්ෂ) යන මහත්වරුන්ය.

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට මෙම සැලසුම් සියල්ලම එම සමූහය මගින් පිහිටුවා ඇති දැවැන්ත මූල්‍ය සමාගම් වෙත ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහා වන ගෝලීය ක්‍රමෝපායකි. එහිදී තමන්ට අයත් මූල්‍ය සමාගම් තුළ සුළුතර කොටස් ප්‍රමාණයක් අත්පත් කරගැනීමට හැකියාව සහිත ආයෝජකයන්ට අවස්ථාව ලබාදීමේ වේදිකාවක් නිර්මාණය LOLC හි අරමුණ වී තිබේ.

“විශේෂයෙන්ම අපගේ මූල්‍ය සමාගම්වල වර්ධනය සඳහා සහාය දැක්වීමට වගේම නවීනතම තාක්ෂණ හඳුන්වාදීම්, තාක්ෂණික දැනුම සහ සේවකයන් සඳහා පුහුණු අවස්ථාව ලබාදීම හරහා ගනුදෙනුකරුවන්ට දැනට ලබා දෙන සේවාවට වඩා වැඩි සේවාවක් ලබාදීමට අවශ්‍ය සහාය ලබාදීමට මෙවැනි විශාල පරිමාණයේ විදේශීය ආයෝජකයන්ට හැකියාව තිබෙන බව අප සමූහය විශ්වාස කරනවා.” යනුවෙන් LOLC මෙහිදී පවසයි.

ඒ අනුව මෙම කටයුතු සාර්ථක කරගැනීම වෙනුවෙන් LOLC සමූහය මෙලෙස සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් ලෙස LOLC Ceylon Holdings Limited (LOCH) ස්ථාපිත කළ බව පවසයි. ඒ අනුව මෙය ආයෝජන වේදිකාවක් ලෙස ක්‍රියාත්මක වෙනු ඇති බවත්, ඉදිරියේදී මෙම LOCH සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමේ සැලසුමක්ද ඇතැයි සමාගම සඳහන් කරයි.

“LOCH සමාගමේ ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව, LOLC සමූහයට අයත් LOLC Finance PLC (LOFC) සමාගමෙහි 44.79% ක කොටස් ප්‍රතිශතයක්, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) තුළ ඇති LOLC වෙත අයත් 98.92%ක ප්‍රතිශතයක් සහ LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්හි (NIFL) ඇති 55.55%ක කොටස් ප්‍රතිශතයක් LOCH වෙත හුවමාරු කෙරෙනු ඇති.” යනුවෙන් LOLC සමූහය සඳහන් කරයි.

මෙහිදී LOLC සමූහයට අයත් LOFC, CLC සහ NIFL තුළ ඇති එම කොටස් LOCH වෙත හුවමාරු කිරීම සඳහා 1995 (සංශෝධිත) සමාගම් අත්පත් කරගැනීමේ සහ ඒකාබද්ධ කිරීමේ රීතිය වලංගු නොවන බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

ඒ අනුව මෙහිදී සිදුවන්නේ මව්සමාගම මගින් කොටස් ආසේවනයක් (infution) වන බවත් මෙහිදී LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් LOFC සහ CLC හි කොටස් හුවමාරුවක් සිදු කළ හැකි බවත් සඳහන් වෙයි. එසේම එම මිලදී ගැනීම් නියාමකයන්ගේ අනුමැතියකින් අනුව සිදු වන්නක් වන බවත් මෙහිදී වැඩිදුරටත් සටහන්ව ඇත.

එහිදී LOCH සමාගම ලැයිස්තුගත සමාගමක් බව පත්වීමත් සමගින්ම මෙම කොටස් හුවමාරුව සිදු වන බවත් පැවසෙයි. දැනටමත් මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය සමාගම් ආවේක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවක් නොදක්වන බව ප්‍රකාශ කර ඇති අතර, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන්ද ඒ සඳහා වන මූලික අනුමැතිය හිමිව ඇතැයි සඳහන් වෙයි.

මේ අතර ඉහත සඳහන් කළ ණයකර නිකුතුව හරහා රැස් කරගන්නා මුදලින් කොටසක් LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගමේ (NIFL) කොටස් මිලදී ගැනීම් සඳහා උපයෝගී කරගන්නා බවත් LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සඳහන් කරයි. එය මෙම ණයකර නිකුතුවෙහි කොටස් බෙදීමෙන් අනතුරුව මාසයක කාලයක් ඇතුළතදී සිදු වෙනු ඇතැයිද සඳහන් වෙයි. මෙම සංස්ථා ප්‍රකාශය නිකුත් කරන දිනය වනවිට LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී තුළ ඇති LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස් ප්‍රතිශතය 55.55% කි.

ඒ අනුව LOLC Ceylon Holdings ලෙස ලැයිස්තුගත සමාගමක් පිහිටුවා මෙම සියලු කොටස් හුවමාරු කිරීම් සහ මිලදී ගැනීම්වලින් අනතුරුව අදාළ LOFC, CLC සහ NIFL යන සමාගම්හි කොටස් මිලදී ගැනීමේ අවස්ථාව තවත් ආයෝජකයන් වෙත හිමි වීමට නියමිතව තිබේ. එසේම එම මූල්‍ය සමාගම්වල මෙහෙයුම් කටයුතුද, කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුද එලෙසින්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති බවත් සඳහන් වෙයි.

Visits: 2724