LOLC සිලෝන් හෝල්ඩිංග්ස් ලිමිටඩ් වෙතින් ණයකර කොටස් මිලියන 10ක නිකුතුවක්

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහය යටතේ ස්ථාපිත කර ඇති LOLC සිලෝන් හෝල්ඩිංග්ස් ලිමිටඩ් (LOLC Ceylon Holdings) සමාගම මගින් කොළඹ කොටස් හුවමාරුව තුළ ණයකර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි.

මේ සඳහා වන මූලික අනුමැතිය මේ වනවිටත් කොළඹ කොටස් හුවමාරුව විසින් එම සමාගම වෙත ලබා දී ඇතැයි සඳහන් වෙයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ, ලැයිස්තුගත කෙරුණු, පිරිමුදවා ගත හැකි, වර්ග කෙරුණු, ඇපවුණු ණයකර කොටස් මිලියන 10ක් (10,000,000ක්) මෙහිදී නිකුත් කෙරෙන බව LOLC සිලෝන් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම සඳහන් කර තිබේ.

මෙම ණයකර නිකුතුවේ පොළී අනුපාතය 9.50%ක ස්ථාවර කූපන් පොළී අනුපාතයක් (9.50%ක වාර්ෂික පොළීඅනුපාතයක්) ලෙස සටහන්ව ඇති බවත්, මෙම පොළී වාර්ෂිකව ගෙවීමක් සිදු කරන බවත් සඳහන් වෙයි.

මෙහිදී අදාළ ණයකර නිකුතුව සඳහා ඉල්ලුම් කිරීම සඳහා ලබන සැප්තැම්බර් 29 වැනිදා සිට අවස්ථාව හිමි වන බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

මෙම නිකුතුවෙහි කළමනාකරුවන් ලෙස කැපිටල් එලායන්ස් පාර්ට්නර්ස් ලිමිටට් සමාගම කටයුතු කරයි.

මෙම වසර ආරම්භයේදී LOLC සමූහය මගින් මෙම LOLC සිලෝන් හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම ස්ථාපිත කිරීම පිළිබඳව පළමුවරට අනාවරණය කෙරිණි. එහිදී LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි පූර්ණ අනුබද්ධිත සමාගමක් ලෙස මෙය ක්‍රියාත්මක වෙයි.

විශේෂයෙන්ම දැනට LOLC සමූහයට අයත් මූල්‍ය සමාගම් කොටස් කිහිපයක් ඒකාඉද්ධ කර LOLC සිලෝන් ලෙස තනි සමාගමක් ලෙස මෙය ඉදිරියට පවත්වාගෙන යාම අරමුණ වී තිබේ. එසේම මෙම LOLC සිලෝන් සමාගම ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමටත් සැලසුම බව පැවසෙයි.

ඒ අනුව මෙහිදී LOLC ෆිනෑන්ස් පීඑල්සී සතු LOLC කොටස් 44.79%ක්, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සතු කොටස් 98.2%ක් සහ LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සතු 55.55%ක කොටස් ප්‍රතිශතයක් මෙම නව LOLC සිලෝන් හෝල්ඩිංග්ස් ලිමිටඩ් වෙත යොදවන බව LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මීට පෙර දැනුම් දී තිබේ.

Visits: 952